ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අපිට ගහන්ඩ මඩු වලිග ගෙනෙව්!! [ යාම් : 50 ] | කට්ටකාඩුව | 2018-01-28 05:09:54
මගේ එක විනෝදාංශයක් තමයි ඉතිහාසය ගැන තියන පොත් පත් කියවීම. මගේ යාළුවො හුග දෙනෙකුත් මේ ගැන දන්නවා. ඉතිං උන්ට මොකක් හරි ඉතිහාස ප්‍රශ්නයක් ආපුවම මට කෝල් එකක් දෙන එක අමුතු කාරණයක් නෙවෙයි. ඊයේ පෙරේද දවසක යාලුවෙක් මට කතා කළා. “මචං පොළොන්නරුවෙ ඉපදිච්ච, දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සේනාවේ හිටපු යෝධයා කව්ද?”“ඒක අහපං ඔය කතාව කියපු යෝධයාගෙම්ම!” මම කිව්වේ මේ ලඟදි එක්තරා දේශපාලක උත්තමයෙක් තමන් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ යෝධයෙක් වගේ හිටිය බව කියපු ප්‍රවෘත්තියක් මම අහලා තිබ්බ හිංදා...“නෑ...නෑ...මම සීරියස් කතාවක් අහන්නේ!” යාලුවා කිව්වා.“ඇත්තටමද?”“ඔව්... ඔව්...මට උඹෙන් ප්‍රශ්න තුනක් අහන්ඩ තියනවා. මේ පලවෙනි එක”“අනික්වා මොනවද?”“එහෙම කියන්ඩ බෑ. ඒ ප්‍රශ්න හැදෙන්නේ මේ ප්‍රශ්නෙට උඹ දෙන උත්තරේ මත”“මට මතක නෑ මචං පොළොන්නරුවේ ඉපදිච්ච යෝධයා කවුද කියලා. ඕන නං පොතක් බලල කියන්නං. මං ගාව තියනවා එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ලියපු පොතක්. ඔය යෝධයෝ දහ දෙනා ගැන ලියපු”“අනේ හොයල කියපන්කො!...ආ මේ ඒ ගමම්ම පොතේ තියනවද බලපං ඔය යෝධයෝ යුද්දෙන් පස්සේ මොකද කලේ කියලත්…”ඉතින් මමත් අර කියපු පොත හොයාගෙන කියවන්ඩ පටං ගත්තා. අද කතාව මේ යෝධයෝ සහ තමන් යෝධයන් කියල හිතං ඉන්න අඟුටු මිට්ටෝ ගැන.දුටුගැමුණු රජ්ජුරුවන්ට යෝධයෝ ගණනාවක් හිටිය කියල මහාවංශේත් අනික් ඉතිහාස පොත් පත් හුඟකත් සඳහන් වෙනවා. මහාවංශය ලිව්වෙම දුටුගැමුණු රජජුරුවන්ගේ කතාව කියන්ඩ කියලත් සමහරුන්ගේ මතයක් තියන එකේ මේ යෝධයෝ ගැන ඒ පොතේ සඳහන් නොවෙනවානං තමයි පුදුම.ඒ කොහොම වෙතත් මේ අය ශරීර ප්‍රමාණයෙන් යෝධයෝ වෙනවට වඩා කාර්ය ශූරත්වයෙන්, ස්ථානෝචිත ප්‍රඥාවෙන්, යුධ උපායෙන් හා දැඩි දේශ මාමක හැගීමෙන් ඔද ගැන්වුනු සේනාපතියන් කියලයි මම හිතන්නේ. අපේ එල්ලාවල හාමුදුරුවෝ නං හිතන්නේ මේ අය තනි තනියෙන් 1,100 විතර භට කණ්ඩායමක් මෙහෙයවපු සේනාපති වරු කියලයි. මීට අනුරූප වර්තමාන හමුදා නිළය මොකක්ද කියල දන්නා කවුරු හරි කියනු ඇතැයි මං හිතනවා.ඒ කොහොම වෙතත් මෙන්න දස මහා යෝධයන් ගේ උපන් ගම් හා යුද්දෙන් පස්සේ ඒ අය කරපු දේවල්.1. නන්දිමිත්ත යෝධයා - අනුරාධපුරේ හොරොව්පතාන ප්‍රදේශයේ හෝ වවුනියාවේ පෙරියපුලියන්කුලම ප්‍රදේශයේ උපන් මොහු පස්සේ කාලෙක යාල ප්‍රදේශයේ බෝවත්තේගල පැත්තෙත් පදිංචි වෙලා ඉඳලා තියනවා. යුද්දෙන් පස්සේ පුත්තලම පැත්තේ ගම්වර ලබා පින් දහම් කරමින් හිටියලු. මෙතුමාගේ පරපුර පුත්තලම පැත්තේ නාවික කටයුතු වලට සම්බන්ධ වෙලා හිටපු බවකුත් සඳහන්.2. සුරනිමල යෝධයා- මඩකලපු දිස්ත්‍රික්කේ තොප්පිගල ප්‍රදේශයට ආසන්න පැත්තක් උපන් මොහු යුද්දෙන් පසු කුමක් කලේ දැයි පැහැදිලි නැතත් රජතුමා ගෙන් උපහාර ලබමින් විසු බව සිතිය හැකියි.3. මහාසෝණ යෝධයා - අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේට කිට්ටු මල්වත්ත ප්‍රදේශයේ උපන්නෙකි. යුද්දෙන් පසු රජු සමග දන් පින් කරමින් ජීවත් විය.4. ගෝටයිම්බර යෝධයා - හම්බන්තොට දිස්ත්‍රික්කයේ නෙටොල්පිටිය ප්‍රදේශයේ උපන්නෙකි. යුද්දෙන් පසුව අනුරාධපුරයේම වසමින් සත් කෝරළයේ වාරි කර්මාන්ත දියුණු කළේය. අදද සත් කෝරලය තුල පිදුම් ලබන දේවතාවෙකි. පසුව සුප්‍රසිද්ධ ජයසේන නම් යක්ෂයා සමග සටනට පසු රජතුමා සමග විරසක වී ඉන්දියාවට ගොස් පැවිදිව රහත් විය.5. ථෙරපුත්තාභය යෝධයා- මොණරාගල දිස්ත්‍රික්කයේ සිත්තරම හෝ බෝදාගම ප්‍රදේශය මෙන්ම කතරගම ප්‍රදේශයද මොහුගේ උපන් ගම වී යැයි අදහස් පවතී. පැවිදිව සිට හමුදාවට එක්වූ අතර යුද්දයෙන් පසු රජතුමාගෙන් කිසිදු වරප්‍රසාදයක් නොගත් මොහු නැවත පැවිදි වී කිරිඳි ඔය සමීප පංසලක වැඩ වාසය කළහ. පසුව රහත් පලයට පත් විය.6. මහාභරණ යෝධයා - මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම මොහුගේ උපන් ගමයි. යුද්දයෙන් පසු රජු සමග පිංකම් කටයුතු වලට සහභාගී විය.7. වේළසුමන යෝධයා - බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව ප්‍රදේශයේ උපන්නෙකි. යුද්දය අවසාන වන විට මහලු වයසේ සිටි මොහු රජු සමග පිංකම් කටයුතු වලට සම්බන්ධ විය.8. ඛඤ්ජදේව යෝධයා - මොණරාගල වැල්ලවාය ප්‍රදේශයේ මිද්දෙනිය මොහුගේ උපන් ගම විය. යුද්දයෙන් පසු රජු සමග පිංකම් කටයුතු වලට සහභාගී විය.9.ෆුස්සදේව යෝධයා - රුහුණේ කැලයට දැනට යටවී ඇති ගමක මොහු උපන්නේය. යුද්දයෙන් පසු ඔහු පිංකම් කර මිය ගිය බව ලියැවී ඇතත් ජන ප්‍රවාදයට අනුව ඔහු පැවිදි විය. ඇඹිලිපිටියේ සංඛපාල වෙහෙර ආශ්‍රිතව මෙම තෙරුන්ගේ යයි කියවෙන සොහොනක් ඇතත් එය තහවුරු කිරීමට සාධක නැත. 10. ලභිය්ය වසභ යෝධයා - රුහුණු ජනපදයේ මාගම අසල ගමක උපන්නෙකි. යුද්දයෙන් පසු රජු සමග පිංකම් කටයුතු වලට සහභාගී විය.ඉතිං මම මේ විස්තර යාලුවට කිව්වා.“ඒ කියන්නේ පොළොන්නරුවේ ඉපදිච්ච හෝ පදිංචි වෙලා හිටපු, දුටුගැමුණු රජ්ජුරුවන්ගේ යෝධයෙක් නෑ?” “ම්හ්...එල්ලාවල හාමුදුරුවන්ගේ පොතේ විදිහට නං එහෙම කෙනෙක් නෑ....!”“හැබැයි එළාරගේ විජිතපුර බලකොටුව තිබ්බේ පොලොන්නරුව පැත්තේ කියල මතයක් තියනවා නේද?”“ඔව්...සමහරුන්ගේ එහෙම මතයක් තියනවා...!”“එහෙම උනා නං මේ එළාරගේ යෝධයෙක් වෙන්ඩ බැයිද? පැරදෙන බව දැනගෙන පැත්ත මාරු කරපු?”“හිහ්...හිහ්...!”“දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සේනාව ගහගෙන ගහගෙන ඉස්සරහට එනකොට, විජිතපුර බලකොටුවටත් ළඟදීම බබා හම්බ වෙන බව දැනගෙන, පිට ඉන්න සතුරු සේනාවත් එක්ක ඩීල් එකක් දාලා, ඒ සේනාවට සෙට් වෙච්ච එළාරගේ සෙබලෙක් වෙන්ඩ බැයිද මේ යෝධයා?”“හිහ්...හිහ්...! ඔව්ව ගැන කතා කරලා වැඩක් නෑ බං. උඹේ ඊගාව ප්‍රශ්නේ කියපං!”“මචං මේක ඉකොනොමික්ස් ප්‍රශ්නයක්. 2014 ඉඳන් 2016 වෙනකොට කෘෂිකර්ම (වැවිලි කර්මාන්ත නැතුව), වන සම්පත් හා ධීවර, විදුලිබල හා බල ශක්ති, ප්‍රවාහන කියන අංශ වල දල දේශීය නිෂ්පාදනයට දායකත්ව ප්‍රතිශතය වෙනස් වෙලා තියනවද කියල කියපන්කො?”ප්‍රශ්නේ අහපු විදියෙම්ම මට තේරුනා මූ මේක හොයලා තියන විත්තිය. මං මොකටද ආය හොයන්නේ? ඉතින් මම උගෙම්ම ඇහුවා මොකක්ද උත්තරේ කියලා. මෙන්න ඌ දුන්න උත්තරේ. වගුවක් විදිහට දාන්නේ පැහැදිලි වෙන්ඩ. අංශය 2014 රුපියල් මිලියන 2016 රුපියල් මිලියන කෘෂිකර්ම (වැවිලි කර්මාන්ත නැතුව) වන සම්පත් හා ධීවර 640,787 726,835 විදුලිබල හා බල ශක්ති 77,639 86,660 ප්‍රවාහන 1,288,124 1,426,726 දල දේශීය නිෂ්පාදනය 10,361,151 11,838,975 අදාළ අංශ වල දායකත්වය 19.36% 18.92% “අඩු වෙලාද? වැඩි වෙලාද?”“අඩු වෙලා නේද?”“දේශපාලකයන්ට ආර්ථිකය හසුරුවන්ඩ පුළුවන්නං  ඔය කාල සීමාවේ ඔය කියාපු අංශ බාරව හිටපු ඇමතිලාට මොකද කරන්ඩ ඕන?”“මඩු වල්ගෙන් තලන්ඩ ඕන නේ?!!!”“ආර්ථිකේට දායකත්ව ප්‍රතිශතය වැඩි කරපු එවුන්ට වඩා ප්‍රතිශතය අඩු කරපු එවුන් හොඳයි කියල උන්ට  ඉස්සරහදී මුළු ආර්ථිකේම බාර දෙන්ඩ ඕන කියන නායකයා සරළ ගණිතය දන්නේ නැද්ද බං?”“ඕව ගැන කතා කරලා වැඩක් නෑ. මොකක්ද තුන්වැනි ප්‍රශ්නේ?”“අර පහුගිය පෝස්ට් එකේ කාඩ් කුට්ටම ගැන ලිව්වා නේද?”“හ්ම්..”“ඒත් ජෝකර් ගැන ලිව්වේ නැත්තේ ඇයි? මං ආසයි ඌ ගැන විස්තර දැන ගන්ඩ”. “මචං…. ජූකර් කියල කාඩ් සෙල්ලමක් තියනවලු. ඒකෙ ලොකුම කොලේ තුරුම්පු බූරුවා ලු. ඊ ගාවට ලොකු කොලේ තුරුම්පු පාටම අනික් වර්ගයේ බූරුවාලු. උදාහරනෙකට කියනවනං තුරුම්පු හාරත නං, හාරත බූරුවා තමයි ලොකුම. ඊගාවට රුවිත බූරුවා. මේක ටිකක් පැටලිලි සහගත හිංදා ඇමරිකන් කාරයෝ එක්දාස් අටසිය ගණන් වල අගදී සෙල්ලම පොඩ්ඩක් වෙනස් කරලා, වෙන හිස් කොලයක් පාවිච්චි කරාලු වටිනාම කොලේ විදිහට. මේ කාඩ් එකට නම වැටුනේ ජූකර් කියලා. ඒ සෙල්ලමේ නමින්. පස්සේ ජූකර්, ජෝකර් උනා. ඊටත් පස්සේ තමයි ජෝකර් කියන වචනෙට හරියන්ඩ රූපයක් ඇන්දේ. අපි නං ඔය කොලේ පැත්තකින් තිබ්බට පෝකර් කියන ප්‍රසිද්ධ සෙල්ලමේත් තව සෙල්ලං කීපෙකත් ඔය කොලේ පාවිච්චි වෙනවලු”.“ඒ කියන්නේ ඔය ජෝකර් ගේ උපත සිද්ද උනේ හිටපු ලොක්කන් අතරේ පටලැවිල්ලක් බේර ගන්ඩ හිස් කොලයක් උඩට ගත්තු හිංදා?”“හ්ම්...”“ඒ හිස් කොලේ අපි තාම තියාගෙන ඉන්නවා වැඩකට නැති උනත්?”“හ්ම්... අපිට වැඩක් නැති උනාට දන්න එවුන්ට පෝකර් ගහන්ඩ මේ කොලේ ඕන!”“පෝකර් ගහන්ඩ දන්නේ නැති අපි වගේ පොඩි උන්ට දැක්කහම හිනා යන්ඩ කාඩ් පැක් එකේ ජෝකර් ඉන්නවා. නිකමට හිතපන් අන්ධ අයට කාඩ් පැක් එකක් හැදුවොත් කොහොමට හිටීද?”“ඒ කියන්නේ?”“ඒ අයට පේන්නේ නෑනේ. ඉතින් සද්දේ ඇහෙන්ඩ එපාය”“ඔව්..ඒක හොඳ අදහසක්!!”“නිකමට හිතන්ඩ අපි ඔක්කොම අන්ධයෝ කියලා....එහෙම නං කවුද හොඳම ජෝකර්?”“කවුද බං?”“ඇයි යකෝ ඉතිහාසේ කවදාවත් නොහිටපු චරිතෙකට තමන්ව උපමා කර ගන්න, වැඩ බැරි දාසලා තොගයක් එක්ක ඔස්තාද් කෙනෙක් කියල හිතාගෙන ඉන්න, හිටපු ලොක්කෝ අතරේ තිබ්බ පටලැවිල්ලක් විසදා ගන්ඩ ගෙනාපු හිස් කොලයක් වගේ මනුස්සයෙක් කට අරින අරින පාරට එකකට එකක් ගැලපෙන්නේ නැති කතා කියනවනං ඌ නෙවෙයිද ජෝකර්?”“හ්ම්.....!!”මම ෆෝන් එක ඩිස්කනෙක්ට් කළා. මට රණස්ගල්ලේ හාමුදුරුවෝ ලියපු ලෝකෝපකාරේ කවියක් මතක් උනා.පුන් සඳට තෙවුනා - තරුත් අමරැස් පතුරුවන්නේ නිරිඳුන් පවතිනා - පණතමය පවතිනේ මැතිඳුන් පුන්සඳ නිසා බබළන තාරකාත් අමාරැස් පතුරුවයි. ඒ අන්දමටම ඇමතිවරු පවතින්නේත් රජවරුන් පවතින්නාවූ සම්මතයෙහිමය!!!ආශ්‍රිත ග්‍රන්ථදුට්ටගාමිණී අභය මහරජතුමාගේ දශමහා යෝධයන් සහ තවත් දෙදෙනෙක්- පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි. දයාවංශ ජයකොඩි සහ සමාගම (2008)2016 වාර්ෂික වාර්තාව - ශ්‍රී ලංකා මහා බැංකුව (2017) රණස්ගල්ලේ හිමිගේ ලෝකෝපකාරය - වැලිගම සීලානන්ද නාහිමි සංස්කරණය. ඇම්.ඩී.ගුණසේන සහ සමාගම ....   වැඩිදුර >>  
Next || Previous