ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
2019 දී වස විස නැති රටක්? [ යාම් : 36 ] | කට්ටකාඩුව | 2018-01-02 07:53:01
අවුරුද්දේ මට හම්බ වෙච්ච එස්.එම්.එස් සුභපැතුම් ගණනාවක තිබුනේ බත බුලතින් සරු වෙන අවුරුද්දක් ලැබේවා කියලා. මේක අතීතයේ ඉඳන් පැවත එන සිංහල සුභ පැතුමක්. ඒ වෙලාවේ තමයි මට හිතුනේ මේ සුභ පැතුමේ ආරම්භය අද දවසට කොච්චර ගැලපෙනවද කියලා. ඈත අතීතයේදී බත් හා බුලත් අපේ ප්‍රධාන අහාර අවශ්‍යතා වෙන්ඩ ඇති. ඉතින් බතුයි බුලතුයි කාට හරි අවශ්‍ය ප්‍රමාණයට තියනවා නං ඔහුගේ හෝ ඇයගේ ජීවිතේ වාසනාවන්ත එකක් විදිහට සැලකෙන්ඩත් ඇති. සමහරවිට මේ  දේවල් ඇති පමණට ලැබුනේ සමාජයේ වැදගත් එහෙම නැත්නං ප්‍රධාන පුද්ගලයන්ට විතරක් වෙන්ඩත් ඉඩ වැඩියි. ඉතින් මේ සුභ පැතුම ලබන්නාට සමාජයේ වැදගත් තැනක් හිමිවේවා කියල පැතීමත් එක අදහසක් වෙන්ඩ ඇති. ඒ කොහොම උනත් බත් බුලත් අපේ පැරණි සමාජේ අඩුවෙන් තිබ්බ, දුර්ලභ දේවල් කියලනම් මේකෙන් හොඳටම ඔප්පු වෙනවා. බහුලව තිබ්බ එහෙම නැත්තං එච්චර අපහසුවකින් තොරව ලබා ගන්ඩ පුළුවන් දේවල් නැවත නැවත ලැබේවා කියල ප්‍රාර්ථනා කරන එක සිහි මොලේ ඇති කෙනෙක් කරයි කියල හිතන්ඩ අමාරු හින්දයි එහෙම තීර්ණේකට මම ආවේ.එදා සමාජයේ බත් එහෙම නැත්තං හාල් පරිභෝජනය අඩු වෙන්ඩ හේතුව නිෂ්පාදනය අඩුකම. වාරි පහසුකම් අඩු වෙච්ච හිංදා, නැත්තං කැරළි කෝලාහල වගේ වෙනත් හදිසි කටයුත්තකට ශ්‍රමය  යොදවන්ඩ වෙච්ච හිංදා එහෙමත් නැත්තං ස්වභාවික උවදුරු වගේ සිද්ධි හිංදා අපේ සමාජය සාගත වලට මුහුණ දුන්නු බවට ඕන තරං සාක්කි මහා වංශය ඇතුළු බොහෝ ඉතිහාස පොත් වල සඳහන්. අපි විතරක් නෙවෙයි අපිට පරමාදර්ශ සපයපු උතුරු ඉන්දියානු සමාජෙත් මෙහෙම සාගත ඇති උනා. පස් මහ බැලුම් බලල බුදු වෙච්ච අපේ බුදු හාමුදුරුවන්ටත් එක වස් කාලයක අශ්ව කෑම වලදන්ඩ උනා කියල මම අහලා තියනව. ඒ වගේ උත්තමයෙක් ඒක උපේක්ෂාවෙන් ඉවසුවට බොහොම අමාරුවෙන් ලබා ගන්න මනුස්ස ජීවිතයක් තුල මනුස්සයෙක් විදිහට කාලා, බීලා, සතුටින් ඉන්ඩ නොලැබීම අවාසනාවන්ත තත්වයක්.මේ අවාසනාවන්ත තත්වෙන් ගැලවෙන්ඩ තමයි අහාර වලින් ස්වයංපෝෂිත වීම හුගක් රටවල් වල මූලික ඉලක්කයක් උනේ. අවුරුදු ලක්ෂ ගානක් පුරා, මිනිස්සු පරම්පරා දාස් ගානක් දැක්ක ඒ හීනේ - කෑමෙන් අග හිගයක් නැති ජීවිතයක්- සැබෑ කර ගන්ඩ පුළුවන් වෙන්නේ මීට අවුරුදු 50-60 කට ඉස්සරලා. ඒ අපි කැමති උනත් අකමැති උනත් ලෝකේ සිදු වෙච්ච හරිත විප්ලවය කියල හඳුන්වන කෘතීම රසායන ද්‍රව්‍ය පාවිච්චිය, වැඩි දියුණු කල බීජ ප්‍රබේධ භාවිතය වගේ තාක්ෂණයන් එක්ක. ඊට කලින් ලෝකේ ඉන්න මුළු ජනගහණයට ඕන තරමට ආහාර නිපදවීමක් උනේ නෑ. ඒක තමයි ඇත්ත.දැන් මම එන්නං කතාවේ දෙවැනි කොටසට. ලංකාවේ ආණ්ඩුව වස විස නැති රටක් කියලා මහ ලොකු වැඩසටහනක් පටන් ගත්තේ 2016  මාර්තුවේ දී.  හේතුවක් හඳුනා නොගත් වකුගඩු රෝගය වගේ බෝ නොවෙන රෝග ව්‍යාප්තිය ඉහල ගිහිං තියන වටපිටාවක ඒකට උත්තර හොයන්ඩත් එක්ක තමයි ඒ වැඩ පිළිවෙල පටං ගත්තේ. ඒ අරමුණු බොහොම හොඳ ඒවා. ඒ ගැන සැකයක් නෑ. මට සැකයක් උපදින්නේ  ඒ අරමුණු ඉටු කර ගන්ඩ යන ආකාරය ගැනයි. ඒ අවුරුදු තුනක් තුල රට පුරාම කෘෂි රසායන භාවිතයෙන් තොරව භව බෝග- අපේ මාතෘකාවට අදාලව නං වී වර්ග වගා කරන්ඩ උත්සාහ ගැනීමෙන්.හැබෑටම මේක කරන්ඩ පුළුවන් දෙයක්ද?මම කාලයක් හම්බන්තොට සූරියවැව පැත්තෙත් මොණරාගල වැල්ලවාය පැත්තෙත් වැඩකලා. ඔය -රත්නවීර- ලා -වම් බොට්ටලා- වැඩ පෙන්නපු කාලේ මං හිටියේ ඒ පැත්තේ කරක් ගහ ගහ. ඔය කාලේදී රත්නපුරේ හේමන්ත අබේගුණවර්ධන මහත්තයත් රට පුරා යමින් පැරණි වී වර්ග ජනප්‍රිය කරන්ඩ උත්සාහ ගත්තු කාලේ. මාත් උන්නැහෙත් එක්ක එකතු පහදු වෙලා පැරණ වී වර්ග දහයක් විතර වැල්ලවායට අඳුන්නලා දුන්නා. අපි ගොවියෝ 60-70 එක්ක වැඩ කරන කොට වැල්ලවාය පැත්තේ කිසිම රාජ්‍ය ආයතනයක් මේ පාරම්පරික වී ගැන කටයුතු කලේ නෑ. මේ බොහොම මෑතකදී මට දැන ගන්ඩ හම්බ උනා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔය මං කියන කාලෙට ටිකකට කලින් පාරම්පරික වී අඳුන්නලා දෙන්ඩ උත්සාහ ගත්තු බව. හැබැයි මං වැඩ කරන කාලේ වෙනකොට ඒ වැඩසටහන් අභාවයට ගිහිං තිබ්බා. අත්තෙම්ම කිව්වොත් ඒ වෙනකොට වැල්ලවාය පැත්තේ විශේෂයෙම්ම වැල්ලවායේ ඉඳන් තණමල්විල පැත්තට වෙන්ඩ පැරණි වී හොයා ගන්ඩ වත් තිබ්බේ ගොවියෝ හය හත් දෙනෙක් ළඟ විතරයි. ඒ අයත් තමුන්ගේ ප්‍රයෝජනේට පොඩි ප්‍රමාණෙන් වගා කරා මිසක්ක විකුණන්ඩ තරං අස්වැන්නක් ගන්න තත්වයක් තිබ්බේ නෑ. ඉතින් ඒ පැත්තට පලවෙනි පාරට වෙළඳපොල ඉලක්ක කර ගත්තු පැරණි වී වගාව අඳුන්වලා දුන්නේ අපි කිව්වොත් වැරදි නෑ. ප්‍රතිපලේ සාර්ථක උනා. අස්වැන්න අඩු උනත් රත්දැල්, සුවඳල්, කලු හීනටි, මඩ තවාලු, කුරුළු තුඩ වගේ පාරම්පරික වී කිලෝ එකකට රුපියල් 150 -200 දෙන්ඩ අපිට පුළුවන් උනා. ඒ හාල් කිලෝ එකක් ලේසියෙම්ම රුපියල් 250-300 අතර මිලකට විකිණුනා. ඇත්තම කිව්වොත් ඉල්ලුමට හරියන විදිහට සැපයුම නොතිබ්බ හිංදා ඕන නං තව ටිකක් වැඩි මිලකට උනත් මෙව්වා විකුණන්ඩ පුළුවන්කම තිබ්බා.පළවෙනි කන්න දෙක පුරාම අපි ගොවියන්ට කිව්වේ අක්කර කාලකට අඩු ප්‍රමාණයක මේ පරණ වී වවන්ඩ කියලා. එක ගොවියෙකුට කුඹුරු අක්කර දෙක තුනක් තිබ්බ ගමක අක්කර කාලක් කියන්නේ පොඩි ප්‍රමාණයක්. එහෙම කලේ ගොවියන්ට අඩුම අවදානමකින් පාරම්පරික වී වර්ග වවන්ඩ ඕන කරන අත්දැකීම් ලබා දෙන්ඩත්, අපිට තිබ්බ බිත්තර වී ප්‍රශ්නෙට විසඳුමකුත් විදිහට. ඒත් තුන්වැනි හතරවැනි කන්න වෙනකොට මේ ප්‍රශ්න දෙකම සාර්ථකව විසන්දගන්ඩ පුළුවන් වෙච්චි හිංදා පාරම්පරික වී වවන අක්කර ප්‍රමාණය වැඩි කරන්ඩ ඉඩ තිබ්බා. ඒකෙන් වැඩි ලාබෙකුත් ලැබුන හිංදා අපි හිතුවේ ගොවි මහත්තුරුත් මේ වැඩේට එක පයින් කැමති වෙයි කියලා. ඒත් ඒක එහෙම නොවෙන බව මට අමතක නොවෙන පාඩමකුත් එක්ක කියල දුන්නේ අපිත් එක්ක හිටපු දක්ෂ ගොවි මහත්තයෙක් වෙච්චි මහතැන්න ගමේ කිරි බණ්ඩා මාමා.මං කිරිබණ්ඩා මාමට කිව්වේ එයාගේ කුඹුරු අක්කර දෙකේම පාරම්පරික වී වර්ගයක් වවමු කියලා. ඒ වර්ගයේ නම මට දැන් මතක නෑ. "මහත්තය මට කොලොප්පන් කරනවද?" කිරිබණ්ඩා මාමා ගත් කටටම ඇහුවා."ඇයි එහෙම අහන්නේ?""අක්කර දෙකේම ඔය වී වර්ගේ වැව්වත් ගෙදරට ඇති වෙන්ඩ අස්වැන්නක් ගන්ඩ බෑනේ. ඉතිං අපි කොහොමද ඊළඟ කන්න වෙනකල් ජීවත් වෙන්නේ?""ඒ උනාට වී විකුනලා හම්බ වෙන සල්ලි වලින් අව්රුද්දටම ඇති වෙනද හාල් ගඳ පුළුවන්නේ කඩෙන්?""මහත්තයො ගොවියෝ වෙච්චි අපිට මුලු අස්වැන්නම විකුනනවා කියන්නේ හිත් වාවන්නේ නැති වැඩක්. අඩු ගානේ ගෙදර පාවිච්චියට වී ගෝනි දහයක් දොළහක් වත් නැත්තං ඒ ගොයිතැනින් පලක් නෑ. අනික කඩේ හාල් අද ඔය ගානට තිබ්බට තව මාස හය හතකින් කීය වෙයිද කව්ද දන්නේ?"එදායින් පස්සේ මම කවුරු හරි ගොවියෙකුට උපදෙස් දෙනකොට මේ පාඩම හොඳට මතකේ තියා ගත්තා. එදා කිරිබණ්ඩා මාමා කියපු දේ අද මුළු රටටම ඇත්ත වෙලා. ඒ මෙන්න මෙහෙමයි.   ඔය වස විස නැති එහෙම නැත්තං කෘෂි රසායන වලින් තොර ගොවිතැන ප්‍රොමෝට් කරන ය අමතක කරන දේ තමයි අපිට තියන කුඹුරු ප්‍රමාණෙන් ලංකාව හාල් වලින් ස්වයංපෝෂිත කරන්ඩ තරං අස්වැන්නක් ලැබෙන්නේ නෑ කියන එක. මෙන්න ඒකට සාක්කි.1948 අපි නිදහස ලබනකොට අපේ හාල් අවශ්‍යතාවෙන් 75% ගෙන්නුවේ පිටරටින්. එතකොට ජනගහනය මිලියන් හයක්  විතර. අපේ වී වගාවේ පලදායිතාව හෙක්ටාරෙකට ටොන් එකටත් වඩා අඩුයි. වැව්වේ ඔක්කොම පාරම්පරික වී. කෘෂි රසායන භාවිතයක් තිබ්බෙම නැති තරං. පලවෙනියෙම්ම ලංකාවට අදුන්නලා දීපු වැඩි දියුණු කල වී ප්‍රබෙධය විදිහට සැලකෙන H4 එන්නේ 1958 දී. 1961 වෙනකොට අපේ පලදායිතාව ටොන් 1.81 හෙක්ටාරෙකට. මේක 1970 දී 2.25 කටත් 1983 දී 3.2 කටත් 2010 දී 4.06 කටත් වැඩි වෙනවා. ඔය අතරේ වගා කරන ඉඩම් ප්‍රමානෙත් වැඩි වෙනවා හැබැයි ජනගහනෙත් ඉක්මනටම ඉහල යනවා. ඒ කියන්නේ නිෂ්පාදනේ වැඩි වෙන තරමටම පුරවන්ඩ ඕන බඩවල් ගානත් ඉහල යනවා. හැබැයි තාක්ෂනේ පිහිටෙන් අපි හාල් වලින් ස්වයංපෝෂිත මට්ටමට හොඳටම ලං වෙනවා. අපි හැමදාම හාල් පිටරටිං ගෙන්නුවත් 1995 දී ඒක අවම අගයකට එන්නේ සහල් අතිරික්තයක් පවා ඇතිවිය හැකි බවට මත පල වෙමින්.   හැබැයි මේ වර්ධනයත් එක්කම තව ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ තමයි කන්න දෙකම වැඩ කිරීමත් එක්ක කෘමි සත්තුන්ටත් පහසුවෙන් ජීවත් වෙන්ඩ අවස්තාව සැලසීම. ඒ හිංදා රෝග බෝ වීම වැඩි වෙනවා. එතකොට කෘමි නාශක ඕන උනා. වල්   නෙලන්ඩ ඉස්සර මිනිස් ශ්‍රමය යොදා ගත්තත් කම්කරු ශ්‍රමයේ මිල වැඩි වීම හිංදා වල් නාශක වලට හොඳ වෙළඳ පොලක් එනවා. ඉස්සර අපි කන්නක් දෙකක් කුඹුරු පුරං වෙන්ඩ ඇරියේ වතුර නැති හිංදා. මේ කාලේ කුඹුරේ පසට එක එක කාබනික පොහොර එකතු උනා. දැන් වාරි ජලයත් එක්ක අවුරුද්දට කන්න දෙකක් නැත්තං තුනක් වවන්ඩ පටන් ගැනිල්ලත් එක්ක පසේ සරු බව හිඳුනා. එතකොට පොහොර වැඩි වැඩියෙන් ඕන උනා. මේක කවුරුවත් කරපු කුමන්ත්‍රණයක් නෙවෙයි. ස්වභාවික සංසිද්ධියක්. ඉතින් උත්තරේ මොකක්ද? උත්තර දෙකක් තියනවා අපිට තෝර ගන්ඩ පුළුවන්.1. වස විස නැති ගොවිතැන කියලා අපි ආපහු පරණ ක්‍රමේට යන එක. හැබැයි මිනිස්සුන්ට කන්ඩ පිටරටිං හාල් ගේන්ඩ වෙයි මොකද පලදායිතාව හතරෙන් එකකට විතර අඩු වෙන හිංදා. ආර්ථික විද්‍යානුකූලව මේක කල හැකි දෙයක්. හැබැයි සමාජ විද්‍යානුකූලව නරක ප්‍රතිපල ඇති කරවන්ඩ පුළුවන්. 2. ඔය කෘෂි රසායන පාවිච්චි කරන හරි ක්‍රමේ ගොවියන්ට කියල දීලා අනවශ්‍ය විදිහට කෘෂි රසායන පාවිච්චි කිරීම වලක්වන එක. දැනටමත් ලොකුම ප්‍රශ්නේ මිනිස්සු හිතිච්ච හිතිච්ච විදිහට කෘෂි රසායන පාවිච්චි කරන එක. මේ පැත්තෙන් ගත්තු ධනාත්මක පියවරක් තමයි පොහොර සහනාධාරේ ගොවියන්ගේ අතට සල්ලි විදිහට දෙන්ඩ වර්තමාන ආණ්ඩුව ගත්තු පියවර. හැබැයි ඒකෙ ප්‍රායෝගික බව රැකෙන්ඩ නම් අවශ්‍ය ප්‍රමාණ වලින් මිලදී ගන්ඩ ඉහළ ගුනාත්මයේ පොහොර වෙළඳ පොලේ තියෙන්ඩත් ඕන. වස විස නැති රටක් කියන වැඩ සටහන අපේ -ගොවි පුතා- පටන් ගන්නේ 2016 දී. ඒ අවුරුදු තුනකින් සාර්ථකව අවසන් කරන අදහසින්. මේ වෙනකොට ඒ මාස 32 න් 22 ඉවරයි. තාම අපේ ගොවියෝ පොහොර ඉල්ලලා උද්ඝෝෂණ කරන කොට පාකිස්තානේ අගමැතිට කතා කරලා අපි පොහොර ඉල්ලා ගන්නවා. අපි අර වැඩ පිළිවෙලේ 50% වත් සාර්ථක කර ගත්තානං මිනිස්සු පොහොර ඉල්ලනකොට කියන්ඩ තිබ්බා විකල්ප වැඩ සටහනට යොමු වෙන්ඩ කියලා!!! මගේ අලුත් අවුරුදු පැතුම අපේ රටට දැන්වත් මේ දේශපාලන ගොන් පාට් නවත්ත ගන්ඩ පුළුවන් වේවා කියලයි. කවුරු හරි සහලින් රට ස්වයංපෝෂිත කරන ගමන් වස විස නැති රටකුත් හදනවා කිව්වොත් එයාට අනුකම්පා කරන්ඩ. මොකද එයා ඇත්ත දන්නේ නෑ. එක්කෝ ඇත්ත දැනගෙන හංගනවා. අන්න එහෙම නං හොරෙක්. දුරිම්ම දුරු කරලා දාන්ඩ.ඔබ සැමට හොරුන්ගෙන් හා බොරු කාරයන්ගෙන් තොර සුභ අවුරුද්දක් ....   වැඩිදුර >>  
Next || Previous