ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පවුලත් රටත් පාවාදී පාචනයෙන් මියගිය පුංචිරාළ [ යාම් : 37 ] | කට්ටකාඩුව | 2017-12-06 23:16:56
ඉතිහාසය කියන්නේ මං පොඩි කාලේ ඉදම්ම ආසා කරපු විෂයයක්. කවදාවත් නියමාකාරයෙන් ඉගෙන ගන්ඩ බැරි උනාට ඉතිහාසේ ගැන ලියවිච්ච පොත පත කොහේ හරි දැක්කොත් එක්කහු කරන පුරුද්දක් මට තියෙනවා.ඒත් මම හිතා මතා මග ඇරපු ලංකාවේ එක කාල පරිච්චේදයක් තිබ්බා. ඒ තමයි 1815 දෑලේ ලංකාවේ උනේ මොකද්ද කියන එක තේරුම් ගන්ඩ උත්සාහ කරන එක. ඒ උනාට මට ජීවිතේ මෑත කාලේ හම්බවෙච්ච එක ගුරුවරයෙක් හිංදා ඒ අදහස වෙනස් උනා. මම ඒ කාලේ ගැන ලියවෙච්ච පොත් එක්කහු කරන්ඩ පටන් ගත්තා. ඒත් මොකද්දෝ ලොකු හිස් බවක් හිංදා ඒ මට ඒ කියවපු හැම පොතක් ගැනම තිබ්බේ පොඩි සැකයක්. කොහොමත් ඉතිහාසය කියන්නේ එක්තරා කලාවක්. ඒ හිංදා හැම විටම ඇත්ත දේවල්ම අපිට කියවන්ඩ අහන්ඩ හම්බ වෙනවා කියලා හිතන්ඩ අමාරුයි. ඒත් අර අමුතු හිස්තැන හිංදා මං 1815 තේරුම් ගැනීම කල් දමමින් හිටියා. ඒත් මෑතකදී මට හම්බවෙච්ච පොතක් (The Doomed King – A requiem for Sri Vikrama Rajasinha (2017)- Gananath Obeysekere) හිංදා ඒ හිස් තැන් සෑහෙන මට්ටමකින් පුරවගන්ඩ පුළුවන් උනා. ඒ සතුටටත් එක්ක 1815 දෑලේ ලංකා ඉතිහාසය වර්ණවත් කරපු එක චරිතයක් ගැන විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්ඩ මං හිතුවා. ඒ තමයි පුංචිරාළගේ කල් කිරියාව. පුංචිරාළ කිව්වට කාටවත් මතක් වෙන්නේ නැති උනාට අපේ රටේ නිදහස සුද්දන්ට පාවා දෙන්ඩ කරන්ඩ පුළුවන් හැමදේම කරපු උඩරට රජකමට විතරක් දෙවැනි වෙන පල්ලෙගම්පහේ අධිකාරම් ධූරය 1811 ඉදන් 1814 වෙනකල් දරපු ඇහැලේපොළ මහා අධිකාරම් කිව්වම ලංකාවේ ඉතිහාසය ගැන දන්න හුග දෙනෙකුට මතක් වෙනවා. තවත් මතක් වෙයි අපි පොඩි කාලේ ඉදලම අහලා තියන වීර මද්දුම බණ්ඩාරගේ  තාත්තා කියල කිව්වොත්. මෙන්න උන්දැගෙ කතාව!!ඇහැලේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් වාසල රණමුඛ මුදියන්සේ ඉපදෙන්නේ 1773 දී මාතලේ ඇහැලේපොළ මහා වලව්වෙදී. ඔච්චර දිග දිව පැටලෙන නමක් කියවන්ඩ අමාරු හින්දමද කොහෙදෝ මෙයාට ගෙදර අය වගේම ලග නෑදෑයෝ කියල තියෙන්නේ පුංචිරාළ කියලා. ඔය පුංචිරාළගේ පරම්පරාවේ අය දෙවැනි රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා ඒ කියන්නේ 1635-1687 වගේ කාලේ ඉඳලා උඩරට එක එක නිල තල දරපු උදවිය. ඉතින් පොඩි කාලේ ඉඳලම උඩරට නීති රීති ගැන හොඳින් දැනගෙන තමයි රජ වාසලේ සේවයට සම්බන්ධ වෙන්නේ පණිවිඩ කරන නිළමේ එහෙම නැත්තං රජ්ජුරුවන්ගෙ පණිවිඩ ගෙනියන නිලධාරියා විදිහට. ඒ රාජාධිරාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙදි. ඒ 1793 විතර කාලෙදි. ආපු ගමන්ම ඇහැලේපොළ වැඩ අල්ලනවා. ඒ රජ්ජුරුවන්ගේ ලස්සන බිසවක් වෙච්ච අලුත්ගම දුක්ගන්නා උන්නාන්සේ කියන බිසවත් එක්ක කොටු පැනිල්ලකට සෙට් වෙලා. රජ්ජුරුවෝ ඇහැලේපොළට ගහලා මාළිගෙන් එලවා ගත්තත් පරම්පරාවට ගරු කරලා වෙනද ඇති ආපහු රස්සාවක් දෙනවා. ඉතිං ඒ රජ්ජුරුවෝ යටතේ මඩුවේ ලේකම්, පල්ලෙවාහල ගබඩා නිලමේ සහ මහා ගබඩා නිලමේ වගේ තනතුරු අපේ කතා නායකයට හම්බ වෙනවා.ඔය අතරේ රජ්ජුරුවෝ මිය ගිහිං අලුත් රජ කෙනෙක් පත් වෙනවා 1798 දී. ඒ තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ. මේ රජ්ජුරුවෝ යටතේ ඌව පළාතේ දිසාව විදිහට හිටපු ඇහැලේපොළ 1808 දී උඩගම්පහේ අධිකාරම කියන දෙවැනි අගමැති ධූරයට සමාන පත්වීමක් ලබනවා රජ්ජුරුවන්ගෙන්. ඒ ඊට කලින් ඒ තනතුර දරපු මීගස්තැන්නේ අධිකාරම ගේ මරණයත් සමග. කාගේද...? මීගස්තැන්නේ අධිකාරම...ඔය නම හොඳට මතක තියා ගන්ඩකෝ ටිකකට. හැබැයි තමුන්ගෙ මරණෙට කලින් අධිකාරම රජ්ජුරුවන්ට පණිවිඩයක් යවනවා.. "ඇහැලේපොළ කටුවා ගෙන් පරිස්සම් වෙන්ඩ රජතුමනි" කියලා!!! හැබැයි ඒ වෙනකොට පල්ලේ ගම්පහේ අධිකාරම් ධූරය එහෙම නැත්තං අගමැති ධූරය දරපු පිලිමතලවුවේ මහා අධිකාරම රජ්ජුරුවන්ට යෝජනා කරන්නේ හිස් වෙච්ච උඩ ගම්පහේ අධිකාරම් ධූරයට ඇහැලේපොළව පත් කරමු කියලා. සැකයක් තියනවා ඇහැලේපොළගේ අම්මා පිලිමතලවුවේ අධිකාරමගේ සහෝදරියක් කියලා. ඉතින් එහෙම බැලුවොත් ඇහැලේපොල කියන්නේ පිලිමතලවුවේගේ බෑණා. එහෙම නැති උනත් මේ උඩරට රදළයෝ බොහොම ළඟ නෑදෑයෝ. හැබැයි රජ්ජුරුවෝ මීගස්තැන්න ගේ උපදෙසත් අමතක කරන්නේ නෑ. ඒ හිංදා මීගස්තැන්න දරපු අනිත් නිල තල වලින් හත් කෝරළේ දිසාව කියන තනතුර ඇහැලේපොලට දෙන්නෙ නෑ. ඒ පළාත දෙකට කඩලා එක කොටසක් දෙන්නේ ඇහැලේපොළගේ සහෝදරයට. තවත් මතයක් වෙන්නේ ඒ දිසාවේ බාගයක් ලබා ගත්තෙත් අපේ කතා නායක ඇහැලේපොළම තමයි කියලා. කොහොම උනත් සබරගමු පළාතේ දිසාව තනතුරත් ඇහැලේපොළ ට හම්බ වෙනවා මීගස්තැන්නේගෙන් පස්සේ.ඔය මුලින් කියපු පිලිමතලවුවේ ඉන්නවා නේද? මනුස්සයට රජ වීමේ අමාරුව තදින්ම තිබ්බා. ඇත්තටම රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ගෙන් පස්සේ අලුත් රජ්ජුරුවෝ තේරීමේදී එතකොට බොහොම තරුණ වයසේ හිටපු, රජකම ගැන කිසිම පුහුණුවක් නොලබපු කන්නසාමි කුමාරයාව ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා රජ කරවන්ඩ නායකත්වය ගන්නෙත් මේ පිලිමතලවුවේ . ඒ තමන්ට ඕන විදිහට නටවන්ඩ පුළුවන් රූකඩ රජෙක් හදා ගන්ඩ. ඊට පස්සේ තමන්ම රජ වෙන්ඩ. හැබැයි ඒ හීනේ දවල් හීනයක් වෙන්නේ අලුත් රජ්ජුරුවෝ ඉක්මනටම -වැඩ කිඩ- ඉගෙන ගන්න හිංදා. රජ්ජුරුවෝ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. යාලු මිත්‍ර කම් වලට වැඩි සැලකිලි නොදී. අන්න එතකොට පිලිමතලවුවේ මූදු බඩ පළාත් අල්ලාගෙන හිටපු ඉංග්‍රීසිත් එක්ක හොරෙන් කුමන්ත්‍රණ කරනවා රජ්ජුරුවෝ මරන්ඩ. දෙපාරක්ම රජ්ජුරුවෝ මේ -පිටි පස්සෙන් ඉඳන් පිහියෙන් අනින- අගමැතිට සමාව දෙනවා. හැබැයි තුන්වැනි පාර ඉවසීමේ සීමාව ඉක්මවා යනවා. පිලිමතලවුවේගේ හිස කදින් වෙන් වෙන්නේ අලුගෝසුවා අතින්. හිස් වෙන පල්ලේ ගම්පහේ අධිකාරම් ධූරයට කව්ද පත් වෙන්නේ? කවුද ඉතිං අපේ කතා නායකයා...ඇහැලේපොළ. මේ 1811 දී. ඒ කියන්නේ දෙවැනි අගමැති වෙලා යන්තම් අවුරුදු තුනකදී. එතකොට ඇහැලේපොළට වයස 38 යි.ඔය අගමැති කමට පත් වෙන ඔක්කොටම ඊගාව හීනේ රජ වෙන එක. ඉතින් ඇහැලේපොළත් ඒ හීනේ දකින්ඩ පටන් ගන්නවා. මේ හීනේ දකින්ඩ උදවු කරන්නේ එංගලන්තේ වෙනුවෙන් ඔත්තු සේවා මෙහයවන ජෝන් ඩොයිලි. පල්ලේ ගම්පහේ අධිකාරම් උනාට ඇහැලේපොළ කුමන්ත්‍රනේට හවුල් කරගන්නේ සබරගමුවේ කට්ටිය. එක්නැළිගොඩ නිලමේ වගේ අපතයෝ රට පාවා දෙන මෙහෙයුමට එක්කහු වෙන්නේ ඇහැලේපොළට ආපහු හැරිල්ලක් නැති කරමින්. රජ්ජුරුවන්ටත් මේ සෙල්ලං ආරංචි උනා.හැබැයි රජ්ජුරුවෝ හොරාව අතටම අල්ල ගන්නකල් තමුන්ගෙ රහස් ඔත්තු සේවා ගැන විශ්වාසය තිබ්බා. 1812 නොවැම්බර් වෙනකොටම කට කතා පැතිරුනා ඇහැලේපොළව ඇස කරලා මොල්ලිගොඩ අලුත් අධිකාරම විදිහට පත් කරන්ඩ යන බවට. ඒත් ඒක ඇත්තටම උනේ 1814 අප්‍රේල් 27 දා. ඒ වෙනකොටත් ඇහැලේපොළ සබරගමුවට ගිහිං රජ්ජුරුවන්ට විරුද්ධව කැරළි ගහන්ඩ මිනිස්සු හොයනවා. රජ්ජුරුවෝ කීප වතාවක්ම පණිවුඩ යැව්වා ඇහැලේපොළට වහාම සෙංකඩගල මාලිගේට ඇවිත් තමන්ව බැහැ දකින්ඩ කියලා. හැබැයි තමන් කරපු කියපු දේවල් රජ්ජුරුවන්ට ආරංචි වෙලා තිබුනොත් පිලිමතලවුවෙට අත් වෙච්ච ඉරණමම තමන්ටත් අත් වෙන බව දැනගත්තු ඇහැලේපොළ නුවර පැත්ත පළාතේ ගියේ නෑ. රජවෙන හීනේ දැක දැක හිටපු ඇහැලේපොලට අමතක වෙච්ච තව දෙයක් තිබ්බා. ඒ තමයි තමන්ගෙ දරු පවුල!! තමුන් සබරගමුවට පැනලා යන්ඩ කලින් අනාගතේ වෙන්ඩ පුළුවන් දේවල් වලට සැලසුම් හදලා ඒ අනුව ක්‍රියා කරන්ඩ තරං නුවණක් ඇහැලේපොළට තිබ්බේ නෑ. ඒ හිංදා ඔහු සබරගමුවට පැනලා ගියේ බිරිඳත් පුත්තු දෙන්නත් දුවලා දෙන්නත් අමතක කරලා. හැබැයි අවුරුදු ගානක් රජ වාසල වැඩ කරපු ඇහැලේපොළ මහනුවර රාජ නීතිය හොඳටම දන්නවා. රාජ ද්‍රෝහියා හොයා ගන්ඩ බැරි උනොත් ඔහුගේ පවුලේ අය උනත් අල්ලලා දඬුවම් කරන්ඩ රජ්ජුරුවන්ට මේ නීතියෙන් බලය පැවරිලා තිබුනා. රාජ ද්‍රෝහී වීමට දඬුවමත් ඔහු හොඳටම දැනගෙන හිටියා. ඒ කියන්නේ තමන්ගේ ඔටුනු හීනය වෙනුවෙන් ජීවිත පූජා කරන්ඩ වෙන්නේ තමන්ගේ පවුලේ කට්ටියට. ඔටුන්න හම්බ උනත් මොකටද තමුන්ගේ දරුවන්ගෙ ජීවිත් පූජා කරලා. ඒත් බල තන්හාව ආවම එව්වා එච්චර දේවල් නෙවෙයි.ඇහැලේපොළ තමුන්ගේ දරු පවුල ඉංග්‍රීසින්ට යටත් පළාත් වලට ගෙනියන්ඩ හදන කොට රජ්ජුරුවෝ ඒ අයව නිවාස අඩස්සියට පත් කරලා ඉවරයි. ඇහැලේපොළ සබරගමුවේ ඉන්දැද්දී ගෙදර ඉන්න බඹරදෙනියේ ලියනරාළ කියන විශ්වාසවන්ත සේවකයාට පණිවිඩයක් එවනවා තමන්ගේ දරු පවුල නිවාස අඩස්සියෙන් මුදවා ගෙන මහනුවරින් පිටත් කරන්ඩ උදවු දෙන්ඩ කියලා. හැබැයි 1814 මාර්තු 23 වෙනිදා - ඒ කියන්නේ ඇහැලේපොළ ව මහා අධිකාරම් තනතුරෙන් පහ කරන්ඩ මාසෙකටත් ඉස්සර - ඔහු පිළිතුරු දෙන්නේ හත් කෝරලේ අවසානය දක්වා යෑමට ආරක්ෂාව නැති හිංදා දැන් එහෙම සහයක් දෙන්ඩ බැරි බව. ඒ කියන්නේ ඇහැලේපොළට පක්ෂපාත කට්ටිය සබරගමුවෙන් පිට ඉඳලා තියෙන්නේ අඩුවෙන්. හැබැයි රජ්ජුරුවෝ තාමත් ඉවසා ගෙන ඇහැලේපොළට පණිවිඩයක් යවනවා නුවරට එන්ඩ කියලා. ඒ වෙනුවට ඔහු 500- 600 අතර පිරිසකුත් අරගෙන කැරැල්ලක් අරඹනවා සබරගමුවේ. රජ්ජුරුවෝ ඒ කැරැල්ල මැඩ පවත්වන්ඩ අලුතෙන් පත් කරපු මහ අධිකාරම -මොල්ලිගොඩ නිළමේ - යටතේ හමුදාවක් යවනවා. ඒ හමුදාව ලේසියෙන්ම කැරැල්ල මැඩ පවත්වන අතරේ ඇහැලේපොළ සීතාවකදී ඉංග්‍රීසි හමුදාවට එක වෙන්ඩ යනවා. 1814 මැයි 14 ඔහු උඩරට රාජ්‍යයේ දේශසීමාව පනිනවා. මෙන්න මේ වෙලාවේ රජ්ජුරුවන්ගේ ඉවසීමේ සීමාව ඉවර වෙලා නීතිය ක්‍රියාත්මක කරනවා. ඇහැලේපොළගේ පවුලේ සියලු දෙනාම මරා දමන්ඩ තීරණය කරනවා. ඔවුන් ජීවිත පූජා කරන්නේ මැයි 21 දා හෝ 22 දා උදේ. මැයි 23 රෑ තමයි ඇහැලේපොළ ඉංග්‍රීසිත් එක්ක එක්කහු වෙන්නේ. තමන්ගේ දරු පවුලට වෙච්ච ඇබැද්දිය ඔහු දැන ගන්නේ මයි 24 උදේ 10.00 ට විතර. මේ දුක් සහගත ආරංචියට ඔහු පුදුම වෙන්නෙවත් දුක් වෙන්නෙවත් නෑ. ඔහුට ඊට වඩා වැදගත් රජ්ජුරුවෝ මරලා උඩරට රජ වෙන්ඩ තිබ්බ හීනය. ඊට පස්සේ වෙච්ච කුමන්ත්‍රනත්, උඩරට සුද්දන්ට යටත් වීමත් වෙනම කතා කරන්ඩ ඕන දේවල්. ඒ උනාට රට පාවා දෙන්ඩ මෙච්චර වෙහෙස වෙච්ච ඇහැලේපොළට තමන් බලාපොරොත්තු වෙච්ච උඩරට රජකම ලැබෙන්නේ නෑ. මහ අධිකාරම් ධූරය ආපහු දෙන්ඩ ඉංග්‍රීසි කැමති උනත් ඇහැලේපොළ ඒකට කැමති වෙන්නේ නෑ. අන්තිමට ඔහු -නිකම්ම නිකමෙක්- වෙනවා. හැබැයි සුද්දන්ට රට යටත් වෙලා දවස් අටක් යනකොට ඒ කියන්නේ 1815 මාර්තු 18 දා තමන් මියගිය මීගස්තැන්නේ අධිකාරම්ගේ වැන්දඹු බිරිද විවාහ කරගන්ඩ කැමති බව ඇහැලේපොළ ඉංග්‍රීසි ආණ්ඩුවට දන්වනවා. තමන්ගෙ දරුවන්ගේ හා බිරිදගේ අවුරුද්දේ දානේ ඉවරවෙච්ච ගමන් ඇහැලේපොළ ආයෙත් කසාද බඳිනවා!!!මේ කාලේ වෙච්ච සිදුවීමක් "ජනකතා සහ ඉතිහාසය" කියන බ්ලොග් එකේ සඳහන් වෙලා තිබුනා. ඇහැලේපොළ පත් වෙච්ච පීචං තත්වේ මේ කතාවෙන් පැහැදිලි වෙනවා. මෙන්න ඒ කතාවට සබැදිය.ඔහොම කාලේ යනකොට1818 කැරැල්ල පටන් ගන්නවා. ඒ ගැන අපි පස්සේ දවසක කතා කරමු. හැබැයි ඇහැලේපොළ මේ කැරැල්ලට සම්බන්ධ වෙන්නේ නෑ. ඒත් ඉංග්‍රීසි ආණ්ඩුවට සැකයි ඔහු ගැන. ඒ හිංදා බලෙම්ම වගේ ඇහැලේපොළව 1818 මාර්තු 02 කොළඹට ගෙනිහින් නිවාස අඩස්සියේ තියන්ඩ අති උත්තම ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කරනවා. ඊට පස්සේ කැරැල්ල මර්දනය කලත් නැවත කැරළි ඇති වෙන්ඩ තියන ඉඩ කඩ අහුරන්ඩ නම් ඇහැලේපොළ රටින් පිටුවහල් කරන්ඩ ඕන කියලා ඔවුන් තීරණය කරනවා. ඉතින් ඒ තීරණය හින්දා 1825 මැයි මාසෙදී තමන් රජ වෙන්නට පෙරුම් පිරූ ඒ හින්දම ඒ රටේ තිබුණු අන්තිම නිදහස් රාජධානියත් එංගලන්තේ අධිරාජ්‍යවාදීන්ට පාවා දීපු රටෙන් ඇහැලේපොළ සමු ගන්නවා. ඒ මුරුසි දූපතට යන්ඩ. ඔහු එහෙට ගොඩ බහින්නේ 1825 ජූනි 06.  1818 ඉඳන් 1825 දක්වාම ඔහු කොළඹ කොටුවේ නිවාස අඩස්සියෙයි හිටියේ. ඒ කියන්නේ අවුරුදු 7ක්!!මුරුසියේ අවුරුදු හතරක් හිටපු ඇහැලේපොළ 1829 ඇතිවෙච්ච පාචනය හිංදා මරණාසන්න වෙලා ඒ අවුරුද්දේ අප්‍රේල් 05 මියගියා. ඔහුගේ සොහොන තාමත් මුරුසි දිවයිනේ තියනවලු. රට පාවා දීමේ වැඩේදී ලොකු චරිතයක් රඟපාපු ඇහැලේපොල මැරෙනකොට වයස අවුරුදු 56 යි.ඇහැලේපොළ ලා ඊයෙත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉඳීවි. නම විතරක් වෙනස් වෙලා රට පාවා දීලා හරි තමුන්ගේ අඹු දරුවෝ ගහලයාට බිලි දීලා හරි තනියෙන් රජ වෙන්ඩ උත්සාහ කරන මිනිස්සු ඉන්න තාක් කල් ඇහැලේපොළ කියන්නේ ඉතිහාසයේ හිටපු තනිකඩයෙක් නෙවෙයි. ඉතින් ඉතිහාසේ ඉගෙන ගැනීම හා අනාගත පරපුරට ඉගැන්වීම කියන දේවල් අපි අනිවාර්යයෙන් කරන්ඩ ඕන. එතකොට ඇහැලේපොළ ලා අඳුනා ගන්න එක ලේසියි.ආශ්‍රිත ග්‍රන්ථ ·         The Doomed King – A requiem for Sri Vikrama Rajasinha (2017)- Gananath Obeysekere·         ඇහැලේපොල දෙවැනි රජ්ජුරුවෝ (2005)- අනුර මනතුංග·         දිවයින් අතර - මුරුසියට පිටුවහල් කෙරුණු කන්ද උඩරට සිරකරුවන් පිලිබඳ කතාන්දරය (2010)- රාජා සී. දසා ....   වැඩිදුර >>  
Next || Previous