ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කිඹුලා කෑ මුගාබේ [ යාම් : 34 ] | කට්ටකාඩුව | 2017-11-21 22:46:57
“සමහරවිට ඔබේ මවට මුදල් නොයවා ඉතුරු කරගත්  මුදල් වියදම් කල අතීත පෙම්වතියන් ගැන සිහිකරද්දී මායා බන්ධන සත්‍ය බව වැටහේ!”“ජනාධිපති ඔබාමා, සම ලිංගික විවාහ අප රටේද නීතිගත කරන ලෙස ඉල්ලා සිටියහොත් මම ඔහුට අපේ රටට ආරාධනා කරමි. එවිට මට ඔහු හා විවාහ වී එය ඇරඹිය හැකිය!”“පෙම්වතියන් වෙනුවෙන් වත් සටන් කරන්න එපා. මුළු රටම රූමත් කාන්තාවන්ගෙන් පිරී ඇත. ඔබට එවන් අයෙකු සොයා ගත නොහැකි නම් මා හමුවන්න. මම ඔබට උදවූ කරන්නෙමි!” “මම කීප වරක් මිය ගොස් ඇත්තෙමි. සැබවින්ම මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පරදවා ඇත්තෙමි. මක්නිසාදයත් උන්වහන්සේ මියගියේ එකම එක වරක් පමණක් බැවිනි!”“මාව පත්කළේ දෙවියන් වහන්සේ බැවින් මා ඉවත් කළ හැක්කේද උන්වහන්සේටම පමණි!”“මම අධ්යාපනඥයෙක් මි. ආර්ථික විශේෂඥයෙක්මි. දේශපාලනඥයෙක්මි. දැන් මම හොඳ කතන්දර කියන්නෙකු බවටද පත්වී සිටිමි” “දකුණු ඇෆ්රිකානුවන් මියගිය සුද්දෙකුගේ පිළිම බිමට හෙලන නමුත් පන ඇති සුද්දෙකුට කම්මුල් පහරක් ගැසීමටවත් උත්සාහ නොකරති. එහෙත් හුදෙක් විදේශිකයෙකු වන නිසාම කළු ජාතිකයන් මරා දැමීමට ඔවුහු පසුබට නොවෙති!”“ඔබට විශ්වාස කල හැකි එකම සුදු ජාතිකයා මියගිය එකෙකු පමණි!” “මම මේ කාලයේ හිට්ලර් වෙමි. හිට්ලර්ට ඇත්තේ එකම අරමුණකි. ඒ ඔහුගේ ජනතාවට යුක්තිය ඉටු කිරීමය, ඔහුගේ ජනතාවට ස්වාධීනත්වය ලබා දීමය.ඔහුගේ ජනතාවගේ නිදහසට පිලි ගැනීමක් ලබා දීමට සහ ඔවුන්ගේ සම්පත්වලට ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමටය. ඒ හිට්ලර් නම් මම දස ගුණයකින් හිට්ලර් වීමට කැමැත්තෙමි. දස ගුණයක්, ඒ අපි නැගී සිටින අරමුණුය.” “සාමාන්‍ය ඇෆ්රිකානු රටක ආර්ථිකයකට වඩා අපේ ආර්ථිකය සිය වාරයක් හොඳය. දකුණු ඇෆ්රිකාව හැරුණු කොට අපේ රට තරම් හොඳ වෙන රටක් තිබේද? අපේ කඩවල්වල රාක්ක හිස්ය. එකම ප්‍රශ්නය එයය”මේ මුගාබේ කියපු කතා වලින් තෝරාගත්තු වැකි කීපයක් විතරයි. මං ඒවා තෝරගත්තේ ඔහුගේ ජීවිත කතාව ඒවගෙන් කියවෙන බව මට හිතිච්ච හිංදා.රොබට් ගේබ්‍රියල් මුගාබේ නොහොත් මුගාබේ ගැන අපි බොහෝ දෙනෙක් අහලා තියනවා. සිම්බාබ්වේ දේශයට නිදහස් දිනා දෙන්ඩ අප්‍රමාණ කැප කිරීමක් කරපු සටන් නායකයා ඔහුයි. ඊට ලඟින් යන අනිත් එකම ඇෆ්රිකානු නායකයා දකුණු ඇෆ්රිකාවේ නෙල්සන් මැන්ඩෙලා. අදත් මැන්ඩෙලා ගැන මුළු ලෝකෙම බොහොම ගරු බුහුමනින් යුක්තව කතා කරද්දී මුගාබේ අද ඉන්නේ නිවාස අඩස්සියේ. සමහරවිට ඔබ මේ ලිපිය කියවන වෙලාව වනවිට ඔහුව තමන් හදා වඩා ගත්තු පක්ෂෙන්ම නෙරපලා දෝෂාභියෝගයකට ලක් කරලා ඉන්නවා වෙන්නත් පුළුවන්. මැන්ඩෙලා ගිය පාරේ මුගාබේට යන්ඩ බැරි උනේ ඇයි? මුගාබේ කියල දෙන පාඩම හුගක් රටවල හුගක් දේශපාලකයන්ට වටින පාඩමක් වෙයි. දේශපාලකයන්ට විතරක් නෙවෙයි අපි කාටත් හොද පාඩමක් කියල දෙන මුගාබේ ගේ ජීවිත කතාව තමයි අද මං ඔයාලත් එක්ක කියන්ඩ යන්නේ.මුගාබේ ගැන මං කියන සමහරක් කරුණු මගේ දීර්ඝ කාලීන සිම්බාබ්වේ මිතුරන් කියපු කරුණු වලිනුත් අන්තර්ජාලයේ තිබ්බ සමහර තොරතුරු වලිනුත් සමන්විතයි. මගේ මිතුරන් දිගටම සිම්බාබ්වේ රටේ රැදිලා හිටපු කළු ජාතිකයෝ. ඉතින් ඔවුන් දක්වන අදහස් සමහරවිට සුදු ජාතිකයන් දක්වන අදහස් වලට හා ඒ නිසාම අපි අහන දකින ප්‍රධාන ධාරාවේ පුවත් වලට වඩා වෙනස් වෙන්ඩ ඉඩ තියනවා.මුගාබේ ගැන කතා කරන්ඩ බෑ, සිම්බාබ්වේ ගැන කතා නොකර. සිම්බාබ්වේ ගැන කතා කරන්ඩ බෑ, එංගලන්ත හිරු නොබසින අධිරාජ්‍ය ගැන කතා නොකර. ඒ අධිරාජ්‍ය ගැන කතා කරන්ඩ බෑ සූරා කෑම ගැන කතා නොකර! ධන වාදය පිළිගන්න ඕනෑම රටක සූරා කෑම සිදු විය යුතු දෙයක්. ප්‍රාග්ධනය එකතු වෙන්නේ සූරා කෑම නිසා. ඒ හිංදා ධනවාදයේ ධනාත්මක ප්‍රතිපල භුක්ති විඳින අපි සූරාකෑම කියන දේට එච්චර බය වෙන්න වත් සාප කරන්නවත් අවශ්‍ය නෑ. හැබැයි ඒ සූරා කෑම සිද්ධ වෙන්නේ එක ජාතියක් විසින් වෙනත් ජාතිය යට කරගෙන නම් ඒක ලොකු ගැටළුවක්.  සිසිල් රෝඩ්ස් කියලා අධිරාජ්‍යවාදී සුද්දෙක් හිටියා. ඔහු පතල් ගණනාවක අයිතිකරුවෙක් වූ ව්‍යාපාරිකයෙක්. එයාගේ සමාගම තමයි බ්‍රිතාන්‍ය දකුණු ඇෆ්රිකානු සමාගම (British South African Company - BSAC). මේ සමාගම දකුණු ඇෆරිකා ප්‍රදේශයේ විශාල බිමක් අල්ලා ගෙන ඒක තමන් යටතට පත් කර ගන්නවා 1890 දී. ඊට කලින් ඒ ප්‍රදේශ වල තිබුණු ප්‍රාදේශීය පාලනයන් යට කරගෙන ඇති කරපු මේ සමාගම් පාලනය පැවති ප්‍රදේශය 1895 දී රොඩේසියාව කියලා නම් කරන්නේ අර සමාගම් ආරම්භකයාගේ ඒ කියන්නේ සිසිල් රෝඩ්ස් ගේ නමින්. අද ලෝක සිතියම ගත්තොත් සිම්බාබ්වේ රට සහ සැම්බියා රට අයිති වෙන්නේ මේ රොඩේසියාවට. සමාගම් පාලනය යටතේ තිබ්බ මේ ප්‍රදේශයේ දකුණු කොටස එහෙම නැත්නම් දකුණු රොඩේසියාව ඒ කියන්නේ අනාගත  සිම්බාබ්වේ දේශය එංගලන්ත ආණ්ඩුව යටතට ගන්නේ 1923 දී.      මේ අලුත් යටත් විජිතයේ හිටපු දුප්පත් ශෝනා ගෝත්‍රික පවුලක දරුවන් හය දෙනෙකුගෙන් තුන්වැනියා විදිහට රොබට් උපත ලබනවා. ඒ 1924. ඒ පවුල ජෙසුයිට් කියන විනය පිළිබඳව තදින් හිතපු කතෝලික නිකායක සාමාජිකයෝ. ඉතිං රොබට් තමුන්ගේ ජීවිතේ හැඩ ගස්වා ගන්නෙත් ඒ අනුව. රොබට් ට අවුරුදු දහය වෙනකොට වැඩිමහලු සහෝදරයෝ දෙන්නම මැරෙනවා. තාත්තා පවුල ඇත ඇරලා දාලා වෙන ගෑනු කෙනෙක්ව බඳිනවා. රොබට් සෙල්ලම් කිරිල්ලටවත් ළමයි එක්ක විනෝද වෙන්නවත් නොගිහින් පොත පතේ වැඩටම යොමු වෙනවා. අවුරුදු දා හත වෙනකොට ගුරු පත්වීමක් ලබා ගන්න රොබට් මුළු පඩියම අම්මා අතට දෙන්නේ බාල සහෝදරයාගේත් සහෝදරියන් දෙන්නගෙත් ජීවිත සටනට උදව් වෙන්ඩ. මේ අතරේ වෙන ගෑනියෙක් එක්ක ගිය තාත්තා ආපහු එනවා තව දරුවෝ තුන් දෙනෙකුත් එක්ක. ඒ ඇවිත් ටික කාලෙකින් තාත්තා මැරෙන හිංදා ඒ ළමයි තුන් දෙනාගේ වියදම හොයලා දෙන්ඩ වෙන්නෙත් රොබට් ට. 1949 දී ශිෂ්‍යත්වයක් හම්බ වෙලා දකුණු ඇෆ්රිකාවට යන රොබට් මුගාබේ එහෙදි ඇෆ්රිකානු ජාතික කොංග්‍රසය (African National Congress- ANC) එහෙම නැත්තං මැන්ඩෙලා ඇතුලු  පතාක යෝධයන් හිටපු පක්ෂෙට බැඳෙනවා. මේ කාලේදී තමයි මහත්මා ගාන්ධි ගේ ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය, මාක්ස්වාදය වගේ දේශපාලන අදහස් මුගාබේගේ ඔලුවට වැටෙන්නේ.1960 වෙනකල් ගුරුවරයෙක් විදිහට ඉන්න මුගාබේ ඉන් අනතුරුව දේශපාලනයට පිවිසෙනවා. 1961 දී තමන්ගේ දේශපාලන  වන සැලී හේෆ්රෝන් ව කසාද බදින මුගාබේ සුදු ජාතිකයන්ට එරෙහිව පහර දෙන්නට කලු ජාතිකයන්ව මෙහෙය වනවා. ඔහු හිතන්නේ එය අයිතිවාසිකම් දිනා ගැනීමට ඇති උපක්‍රමයක් විදිහට. තමන්ගේ පුතාට මුගාබේ දෙන්නේ -දුක් විඳින රට- කියන තේරුම තියන ගෝත්‍රික නමක්.  ඔහුට ඒ තරමටම රට වැදගත් වෙනවා. ඔහුත් තව කීප දෙනෙකුත් එක්කහු වෙලා සිම්බාබ්වේ ඇෆ්රිකා ජාතික එකමුතුව (Zimbabwe Africa National Union - ZANU) කියන පක්ෂෙ පිහිටුවා ගන්නේ 1962 දී. රජය පෙරලීමට උත්සාහ දැරීම නිසා 1964 දී හිර ගෙදරට යන මුගාබේ ඉන් එලියට එන්නේ 1974 අගදී. 1975 දී මොසැම්බික් රටට පැන යන මුගාබේ එහෙ ඉඳගෙන සිම්බාබ්වේ වල ගරිල්ලා සටනකට සැලසුම් කරනවා. 1977 දී පක්ෂේ නායකත්වයට නිල වශයෙන් පත්වෙන මුගාබේ තමන්ගේ පක්ෂය තුලම ඉන්න ප්‍රතිවාදීන්ව -හදිසියේ රිය අනතුරු වලට පත්වී මියයෑම- වැනි කටයුතු වලටත් සම්බන්ධයි කියලා කට කතා පැතිරිලා යනවා. ගරිල්ලා සටන් පැතිරිලා යද්දී ඒ සටන් දකුණු ඇෆ්රිකාවටත් පැතිරෙයි කියලා එහෙ තිබ්බ වර්ග බේධවාදී ආණ්ඩුව හිතනවා. ඒ හින්දා ඔවුන් දකුණු රොඩේසියාවේ පාලකයන්ව පොළඹවා ගන්නවා නිදහස් මැතිවරණයකට යන්ඩ. ඒ 1980 දී. ඔන්න දැන් මුගාබේ අගමැති වෙනවා.මුගාබේ නිතරම ටිකක් වමට බර අදහස් දැරූවෙක්. මේ අදහස් වලට ඒ වෙනකොට සිම්බාබ්වේ වල ඉඩම් ඇතුළු අනෙක් සම්පත් පාලනය කරපු සුදු ජාතිකයෝ කැමති උනේ නෑ. මුගාබේ ගේ උපදේශකයෝ කිව්වේ සුදු ජාතිකයන් රට හැර යාමට පටන් ගත්තොත් සිම්බාබ්වේ වල ආර්ථිකය කඩා වැටෙන්ඩ පුළුවන් නිසා එය වැළක්විය යුතු බව. මුගාබේ දුර දකින නුවණක් තිබ්බ කෙනෙක්. ඔහු ඒ අදහස පිලි ගත්තා. සමාජවාදය ගැන කතා කරමින්ම ඔහු ධනවාදී ආර්ථික ක්‍රමය පවත්වාගෙන ගියා. සෝවියට් කදවුරට වඩා ඔහු ලං උනේ ඇමරිකාවට හා එංගලන්තෙට. ප්‍රාථමික අධ්‍යාපනය වැඩි දියුණු කිරීම, සෞඛ්‍ය සේවා නැංවීම වගේ සුභසාධක කටයුතු වලට මුදල් යොදවන ගමන් ධනවාදී අර්ථ ක්‍රමය පවත්වා ගන්ඩත් මුගාබේ අමතක කලේ නෑ.  දැන් ටික ටික මුගාබේට බලයේ රහ දැනෙන්ඩ පටන් ගන්නවා. ඒ හින්දම ව්‍යවස්ථාව වෙනස් කරන ඔහු 1987දී රටේ විධායක ජනාධිපති පදවියට පත් වෙනවා. මේ ව්‍යවස්ථාවට අනුව ධූරයට පත්විය හැකි වාර ගනනේ සීමාවක් නෑ. ඔහු ආණ්ඩුවේ නායකයා වගේම ත්‍රිවිධ හමුදාවන්හි ප්‍රධානියාද වෙන්නේ මේ ව්‍යවස්ථාවට අනුව. වෙන වචන වලින් කියනවනම් මැරෙන තුරා මුගාබේ තමයි මහ රජ්ජුරුවෝ!! දැන් දෙවෙනි පෙළ නායකයන්ට කිසිම ඉහල නැගීමේ බලාපොරොත්තුවක් තියා ගන්ඩ බෑ. ඉතින් ඔවුන් රන් බිජු ලබා ගන්ඩ කිකිලියව මරන්ඩ තීරණය කරනවා. ඒ කියන්නේ මහා පරිමාණ පාගා ගහන්ඩ, දේශීය සම්පත් හොරකං කරන්ඩ හා දේපළ එක් රැස් කරන්ඩ අයථා ක්‍රම වලින්. මේ වෙනකොට සිම්බාබ්වේ වල ඉඩම් බහුතරයක් සුදු ජාතිකයන් සතු වෙන අතරේ කළු ජාතිකයන්ට ජීවත් වෙන්ඩ වත් ඉඩම් නෑ. මුගාබේ ඊට දෙන පිළිතුර කැමති සුදු ජාතිකයන්ට ඉඩම් විකුණන්ඩ අවස්ථාව දීම. මේ වැඩපිළිවෙල යම් දුරකට සාර්ථක වෙද්දී මුගාබේ වටේ හිටපු හෙන්චයියලාට මේකෙන් තමන්ට ලැබෙන ලාභය වැඩි කරගන්ඩ ඕන වෙනවා. ඔවුන් සුදු ජාතිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් පවරා ගන්ඩ මුගාබේව පොළඹවනවා. හැබැයි එහෙම පවර ගන්න ඉඩම් සාමාන්‍ය කළු ජාතිකයන්ට ලැබෙන්නේ නෑ. ඇමතිවරු එව්වා තමුන්ගේ නමට ලියා ගන්නවා. සුද්දන්ට වගේම ධනවත් කළු ජාතිකයන්ට වැඩි මිලට විකුනනවා. බේ බලහත්කාරකම් එක්ක සුදු ජාතික ගොවිපල හිමිකරුවෝ රට ඇත ඇරලා යනවා. සුදු ජාතික කර්මාන්තකරුවෝ බයේ රටින් පැනලා යනවා. ඒ එක්කම ඔවුන්ට එංගලන්ත බැංකු වලින් ලැබුණු සහනදායි නය පහසුකම් රටට නැති වෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. මුගාබේගේ බිරිඳ 1992 දී මිය යනවා. ඔහු 1996 දී විවාහ වෙන්නේ ග්‍රේස් මුරුෆු කියන 31 හැවිරිදි දික්කසාද වූ කාන්තාවක් සමග. ඒ වෙනකොට මුගාබේට වයස 72යි. මේ ග්‍රේස් බලයට හා සල්ලි වලට ඉතාම කෑදර චරිතයක්. ඇය වටා ඉන්නේ හූනියම් විශේෂඥයන් වන කට්ටඩි රැලක්. ඉතින් මුගාබේ තමන්ගේ දුර දක්නා නුවණ තිබ්බ පුරෝහිතයන්ව පන්නලා මේ කට්ටඩි රැල කියන පදේට නටන්ඩ පටන් ගන්නවා. රටේ ප්‍රශ්න වැඩි වෙනකොට කට්ටඩි සරණ හැර වෙන පිලියමක් නැති වෙනවා.මේ අතරේ මිනිස්සු අන්ත දුක් විඳිනවා. කන්ඩ නෑ. ජීවත් වෙන්ඩ රස්සා නෑ. රස්සා තිබ්බත් පඩි නෑ. උද්ධමනය අහස උසට. ඇපල් ගෙඩියක් ගන්ඩ  සමහරවිට රජයේ සේවකයන්ගේ මාසේ පඩිය මදි. උදාහරණයක් කියන්නම් මගේ යාලුවෙක් ගැන. නම බොංගෝ. ඔහුට ආචාර්ය උපාධියක් තියෙනවා ආර්ථික විද්‍යාව ගැන. මේ අල කලන්චි වලට ඉස්සර ඔහු එරට පොහොසතෙක්. කාර් තුනක් තිබුනා. පිහිනුම් තටාකයක් සමග ගෙදරකුත් ඔහුට අයිතියි. ඒත් පස්සේ  රැකියාවෙන් ලැබෙන පඩිය සතියක් ජීවත් වෙන්ඩත් මදි උනා. බොංගෝ කිසිම දවසක රට දාලා නොයන්ඩ තීරණය කරපු කෙනෙක්. ඒත් දරුවන්ව ජීවත් කරන්ඩ ඔහු අමුතුම තීරණයක් ගත්තා. ඒ තමයි රස්සාව ඇත ඇරලා ක්‍රිස්තියානි එවන්ජලික පූජකයෙකු වීම. එවිට ඔහුට ඇමරිකාවෙන් විශාල ධනයක් ආධාර විදිහට ලබා ගන්ඩ පුළුවන් උනා. මේ සල්ලි වලින් තමයි මගේ මිතුරා පන ගැට ගහ ගත්තේ. අමාරු කාල ආපුහම මිනිස්සු පුදුම දේ කරනවා ජීවිතේ පවත්තගන්ඩ!!මුගාබේත් එහෙමයි. තමන්ගේ අකාර්යක්ෂම පාලනය සහ ඥාති සංග්‍රහ වගේම පක්ෂයේ හෙන්චයියෝ කරපු නොපෙනත්කම් වහගන්ඩ ඔහු ‘බටහිර කුමන්ත්‍රණ’ කියන මන්තරේ ජප කරන්ඩ පටන් ගත්තා. ඔහු හිටගෙන ඒක කරන කොට ගෝලයෝ දුව දුව කළා.  සිම්බාබ්වේ දවසින් දවස වල පල්ලට ගියා. ඒත් ZANU-PF පක්ෂේ තිබ්බ බල පුලුවන්කාරකමුත් රටට නිදහස දිනා දුන්නේ තමන්ය කියලා පක්ෂේ ලොක්කෝ දිගින් දිගටම ගහපු සිංදුවත් එක්ක සිම්බාබ්වේ මිනිස්සු අසරණ වෙලා හිටියේ. විරුද්ධ පක්ෂේ කට්ටිය බෙදිලා හිටියේ කෑලි කෑලි වලට. එක පාරක් ඔවුන් චන්දෙකින් දිනලා සභාග ආණ්ඩුවක් පිහිටෙව්වා 2009-2013 කාලෙදි. මේ කාලේ තමයි ආර්ථිකය කඩා වැටෙන එක ටිකක් හරි නවත්ත ගත්තේ. හැබැයි අධික උද්ධමනය හින්දා වටිනාකමක් නැති තත්වෙට පත්වෙලා තිබ්බ සිම්බාබ්වේ ඩොලර් වෙනුවට ඒ වෙනකොටත් සාමාන්‍ය මිනිස්සු පවා එදිනෙදා කටයුතු වලට ඇමරිකානු ඩොලර් පාවිච්චි කරන තත්වෙට පත්වෙලයි තිබුනේ.මේ අලකලන්චි අතරේ මුගාබේගේ බිරිඳ සහ කට්ටඩියනුයි පක්ෂේ දෙවැනි පෙළ නායකයනුයි අතරේ සීතල යුද්ධය වර්ධනය උනා. මුගාබේ වයසට යෑමත් ලෙඩ වීමත් එක්ක ඔහු මියගිය බවට පවා වාර්තා පළවූ වාර ගණනාවක් තිබ්බා. මුගාබේ මැරෙන්ඩ ඉස්සර තමන්ගේ බලය තහවුරු කරගන්ඩ ජනපති ආර්යාව තීරනය කරනවා. අන්තිමට රටේ පළමු උප ජනාධිපති විදිහට හිටපු එමර්සන් නන්ගග්වා ඒ තනතුරෙන් පහ කරලා දාන්ඩ මුගාබෙව පොළඹවා ගන්නේ ජනාධිපති බිරිඳ. ඒ ඇයට මුගාබේ ගෙන් පස්සේ රටේ ජනාධිපතිකමට එන්ඩ තිබ්බ එකම බාධකය එමර්සන් කියලා ඇය හිතපු හිංදා. 2017 නොවැම්බර් 06. හැබැයි ජනාධිපති ආර්යාවගේ හොට පැටලෙන්නේ මෙතෙන්දි. මොකද එමර්සන් කියන්නෙත් අං ගිලපු චරිතයක් හිංදා. එමර්සන්ට දුෂ්කර තත්වයන් යටතේ ජීවිතේ රැක ගන්ඩ තිබ්බ දක්ෂතාව හිංදා ඔහුට එරටේ මිනිස්සු කියන්නේ -කිඹුලා- කියලා.නිදහස් සටනේ ඉඳන්ම රටේ දේශපාලනේට සම්බන්ධ, මුගාබේ යටතේ විවිධ ඇමතිකම් දරමින් ඉහලට ආපු එමර්සන් රටේ හමුදාවත් එක්ක බොහොම යාලුයි. හොරා කෑමේදී එකට වැඩ කරපු හමුදා නායකයනුත් එමර්සනුත් අලුත් සංධානයක් ගොඩ නගා ගන්නවා. හමුදාව රටේ බලය අත් පත් කරගෙන මුගාබේ විසින් ගොඩ නගපු පක්ෂෙට බලපෑම් කරනවා මුගාබේ ඉන් ඉවත් කරලා එමර්සන්ව එහි නායකයා විදිහට පත් කරගන්ඩ කියලා. ඉතින් ඉස්සරහ දවස් දෙක තුනේ හොඳටම ඉඩ තියනවා මුගාබේ ඉවත් වෙලා පක්ෂ නායකත්වයත් තාවකාලික ජනාධිපති පදවියත් එමර්සන් අතට යන්ඩ. හැබැයි එමර්සන් හිතන එකක් නෑ මේ පදවිය තාවකාලිකයි කියලා. ඔහුත් මුගාබේ හිතුව වගේම ඒ පදවිය ‘සදාකාලික’ බව හිතමින් වැඩ කරන්ඩ පටන් ගනීවි. හමුදාවත් මුගාබේට සහය දුන්න වගේම එමර්සන්ට සහය දේවි. මුගාබේ යටතේ ඇමති පදවි අරන් හොරා කාපු හෙන්චයියෝ එමර්සන් ගාවට හේත්තු වෙලා හොරා කෑම දිගටම කරගෙන යාවි!!ඔයාලට හිතුනේ නැද්ද මේ දේවල් මෙහෙමම වෙච්ච තව රටවල් තියනවා කියලා. ඇෆ්රිකාවේ විතරක් නෙවෙයි ආසියාවේත්. මට වෙලාවක හිතුනා මේ සිම්බාබ්වේ රටේ කතාවද නැත්තනම් අපි හොඳට දන්න වෙන දූපතක් කතාවක්ද කියලත්. මං වැරදි වෙන්ඩ පුළුවන්. හැබැයි ජයලත් මනෝරත්න මහත්තය අන්දරේලා නාට්‍යයේ කියනවා වගේ "මෙහෙම රජුන් කොයි දේසෙත් ඉන්නවා අදට ඊයේ හිටිය අද ඉන්නව හෙට ගැන කුමට??!!"සිම්බාබ්වේ ජාතිකයන්ට සහ එවැනි දේ සිදුවන අනිත් රටවල සාමාන්‍ය ජනතාවට අබ සරණය!!!   ප. ලි.මේ ලිපිය ලියු දිනයත් පලවෙන දිනයත් අතර බොහෝ දේ සිදු උනා. ඊයේ මුගාබේ ජනපති ධූරයෙන් ඉල්ලා අස්වුණා. දැන් වැඩ බලන ජනපති එමර්සන්!!  ....   වැඩිදුර >>  
Next || Previous