ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
රැකියා නොමැතිව පීඩා විඳින උපාධිදාරීන්ගේ ඛේදවාචකය [ යාම් : 27 ] | Iranga.net | 2017-11-14 10:14:28
උපාධිදාරීන් යනු රටක උගත්ම තරුණ පිරිස වන බවට තර්කයක් නොමැත. එසේම ඔවුන් බොහෝ දෑ සම්බන්ධයෙන් වඩාත් ඉදිරිගාමී අදහස් දරණ පිරිසක් වන බවට ද සැකයක් නොමැත. විශේෂයෙන්ම පොත පත ඇතුළුව නවීන තාක්ෂණය ද උපයෝගී කර ගෙන විශ්ව දැනුම සොයා යමින් නූතන ලෝකයේ සංවර්ධිත යැයි පැවසෙන රාජ්‍යයන් සමඟ දැනුමෙන් සහ බුද්ධියෙන් කරට කර සටන් වදින අපේ රටේ සරසවි පද්ධතිය තුළින් බිහිවන උපාධිදාරීන් අන් කිසිදු රටකට නොදෙවෙනි බුද්ධිමය ශක්‍යතාවයෙන් යුක්ත පිරිසක් වන බව ලෝකය ඉදිරියේ තහවුරු වූ අවස්ථා අප්‍රමාණය. එසේ වුවත් මෙම බුද්ධිමය සම්පතෙන් නියාමාකාර වූ ප්‍රයෝජනයක් අපේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විසින්  ලබා ගන්නේ ද යන්න පිළිබඳ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. එනම් මෙරට සරසවිවල උපාධිදාරීන්ට ලෝකයේ ඉහළම පිළිගැනීමක් හිමිව තිබුණ ද අපේ රට තුළ එම උපාධියට හිමිව ඇති තැන පිළිබඳ කිසිසේත් සතුටු විය හැකි තත්ත්වයක් දක්නට නොමැත. එය එසේ වන බවට ඉදිරිපත් කළ හැකි උදාහරණ ගණනාවක් මා ද උපාධිදාරියෙකු බවට පත්ව ගතව ගිය මාස ගණනාව පුරා මම අත්වින්දෙමි. ඉන් ඇතැම් ඒවා මාගේ අත්දැකීම් වන අතර ඇතැම් ඒවා මාගේ මිතුරු මිතුරියන්ට මුහුණ පෑමට සිදුවූ තත්ත්වයන්ය. මේ කවර තත්ත්වයක් වුවත් ඒ සෑම එකකින්ම නිරූපණය වන්නේ සරසවි උපාධිදාරීන්ට අපේ රට තුළ හිමිව ඇති ඛේදනීය තත්ත්වයේ අඳුරු පැතිකඩයි. මේ එම අවාසනාවන්ත ඉරණම පිළිබඳ තබන සටහනකි. උසස් පෙළ නැමැති අතිශය තරඟකාරී විභාගයෙන් සමත් වී සරසවි වරම් දිනා ගැනීම කිසිසේත් සුළු කොට තැකිය නොහැකි කරුණකි. එනම් කවරෙකු කෙසේ මෙම තත්ත්වය විග්‍රහ කරනු ලැබුව ද අපේ රට තුළ රාජ්‍ය සරසවියකට පිවිසීමට අවස්ථාව උදාකර ගැනීම අතළොස්සකට පමණක් හිමිවන අතිදුර්ලභ අවස්ථාවක් වන බව පැවසිය යුතුය. එසේ සරසවියට පිවිස උපාධියක් සම්පූර්ණ කිරීම අවම වශයෙන් විෂයන් තිහක පමණ ප්‍රමාණයක් පිළිබඳවවත් පරිචයක් ලැබීමකි. එසේම බොහොමයක් උපාධි හැදෑරීම් තුළ ප්‍රායෝගිකව නියැලෙමින් සම්පූර්ණ කළ යුතු විෂය ඒකක ගණනාවක් ද අන්තර්ගතව පවතින අතර ඒ සෑම එකකින්ම උපාධියට අදාළ කුසලතා උපාධිදාරියා තුළ වර්ධනය කරනු ලබයි. එබැවින් පොතට පතට සීමා වී ලබන දැනුමෙන් ඔබ්බට ගියා වූ ප්‍රායෝගික අත්දැකීම් සහ කුසලතා තුළින් උපාධිදාරියා අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණිකයෙකු බවට පත්කිරීම සිදු කරන්නේ සරසවියේදී එසේ ප්‍රගුණ කළ දැනුම සරසවියෙන් පිටවූ පසු රටට සහ සමාජයට දායක කිරීමේ අරමුණ සහිතවය. එසේ එක් එක් විෂය ක්ෂේත්‍ර ඔස්සේ වසරක් පාසා සරසවි තුළින් රටට අවශ්‍ය බුද්ධිමය පදාසය බිහිකිරීම සිදු කරනු ලැබුවත් එම බුද්ධිමය පදාසය රටේ සේවා සහ කර්මාන්ත පද්ධතියේ සංවර්ධනය සඳහා යොදා ගැනීම සිදු නොවීම මේ වන විට උද්ගතව පවත්නා දැවැන්තම අර්බුදයයි. එම නිසා උපාධිදාරීන්ට ඉලක්ක ගත වූ රැකියා වෙනුවට ඔවුන් වෙනත් රැකියාවල නිරත වෙමින් සරසවි තුළ ප්‍රගුණ කරන ලද දැනුම, කුසලතා සහ ආකල්ප අපතේ හරිමින් ඔවුන්ට කටයුතු කිරීමට සිදුවී තිබීම පුද්ගලිකව එම උපාධිදාරීන්ට මෙන්ම සමස්තයක් වශයෙන් රටට ද අතිවිශාල පාඩුවකි. මෙම තත්ත්වයේ ස්වභාවය කෙබඳු ද යන්න සරසවියෙන් පිටවී උපධිදාරියෙකු ලෙස සුදුසු රැකියාවක් ලබා ගැනීම සඳහා උත්සාහ කිරීමේ දී මා ඇතුළු මාගේ මිතුරු මිතුරියන් අත්විඳි තත්ත්ව ගණනාවක් ඇසුරින් මෙසේ විස්තර කළ හැකිය. එනම් ඇතැම් ආයතනවල රැකියා සඳහා ඉල්ලුම් කළ විට අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු සේවකයින් උපාධිදාරීන් නොවීම හේතුවෙන් උපාධිදාරීයෙකු එම ආයතනවල රැකියාවකට බඳවා ගැනීමෙන් වැළකී සිටීමට ඇතැම් ආයතන ප්‍රධානීන් කටයුතු කර තිබුණි. තව ද ඇතැම් ආයතනවල හෝ ආයතනයේ කිසියම් අංශයක ප්‍රධානියා උපාධිදාරියෙකු වුවත් සරසවි තුළින් පිටවන ඇතැම් උපාධිදාරීන් උපාධියත් සමඟ අදාළ උපාධියේ වටිනාකම තව දුරටත් ඔප් නැංවෙන වෙනත් සුදුසුකම් සහිත වූයේ නම් අදාළ අංශ ප්‍රධානියා වෙතින් එවැනි උපාධිදාරීන්ට හිමිවන්නේ ද නොසැලකිල්ලකි. එලෙස රැකියාවට බඳවා නොගෙන සිටීමේ සිට පුහුණු වන්නෙකු ලෙස රැකියා පුහුණුව ලබා සේවය ස්ථිර නොකර සිටීමේ තත්ත්ව දක්වා උපාධිදාරීන්ට අත්විඳීමට සිදුවූ අවාසනාවන්ත අවස්ථා ගණනාවක් මම ද අත්වින්දෙමි. උපාධිදාරියෙකු වීම උපාධියට සුදුසු වන බොහෝ රැකියා සඳහා මෙසේ නුසුදුසුකමක් බවට පත්වීම ඉකුත් මාස ගණනාව පුරා මා ඇතුළු මාගේ මිතුරු මිතුරියන් අත්විඳි අභාග්‍ය සම්පන්න තත්ත්වයයි. මේ ආකාරයට උපාධිදාරියෙකු වුවත් රැකියා නොලැබීම නිසා ඇතිවන මානසික පීඩනය මෙන්ම රැකියා ලැබුණත් ඒවා උගත් උපාධියේ මට්ටමට ගැළපෙන රැකියා නොවීම ද උපාධිදාරීන් බොහෝ පිරිසක් මේ වන විට අත්විඳින තවත් එක් කණගාටුදායක තත්ත්වයක් බවට පත්වී තිබේ. එහිදී උපාධිය අමතක කර උපාධියේ අධ්‍යාපන සුදුසුකම්වලට කිසිසේත් නොගැළපෙන කාර්යයන්වල නිරත වීමට බොහෝ උපාධිදාරීන්ට සිදුව තිබෙන්නේ ජීවන අරගලයට මුහුණදීම උගත්කමට සරිලන රැකියාවක් නොලැබීමෙන් රැකියා විරහිත තත්ත්වයට පත්ව සිටිනවාට වඩා වැදගත් වන බැවිනි. එලෙස කොළඹින් එහා ඇතැම් දුරපළාත්වල උපාධිදාරීන් කොළඹට වී උපාධියට නොගැළපෙන රැකියාවල නිරත වෙමින් තම වටිනා කාලය සහ ශ්‍රමය අතට ලැබෙන සොච්චම් මුදලේ නාමයෙන් දියකර ගමට ගොස් තම රැකියා පිළිබඳ උදම් අනන්නේ උගත්කමට සරිලන රැකියා ඇත්තේ කොළඹ පමණක් බව පවසමිනි. මෙම තත්ත්වය ඇතැම් උපාධිදාරීන්ට අකමැත්තෙන් වුවත් ගත කිරීමට සිදුවී ඇති දෙබිඩි ජීවිතයේ අවාසනාවන්ත ස්වභාවයයි. කෙසේ වුවත් සිව් වසරක් පුරා බුද්ධිය මෙහෙයවා බොහෝ කැපකිරීම් කර ලබා ගත් උපාධිය මෙලෙස සමාජය හමුවේ අවතක්සේරු වී යන්නට ඉඩහැර බලා හිදීමේ ඛේදවාචකය තුළ බොහෝ උපාධිදාරීන්ට සමාජය තුළ පීඩිත පිරිසක් ලෙස කටයුතු කරන්නට සිදුවීමේ අවාසනාව සරසවි පද්ධතියෙන් බිහිවන උපාධිදාරීන් ඉදිරියේ පවත්නා දැවැන්තම ඛේදවාචකය වන බවට සැකයක් නොමැත. එබැවින් තවදුරටත් මෙරට සරසවි පද්ධතිය රටේ රැකියා වෙළෙඳපොළත් සමග බද්ධ කරමින් සෑම උපාධි අපේක්ෂකයෙකුම සරසවි අධ්‍යාපනයෙන් පසු ඔවුන්ගේ දැනුමට මෙන්ම උගත්කමට ගැළපෙන රැකියා වෙත ඉලක්ක ගත කිරීමේ විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාව මේ සෑම අවාසනාවන්ත තත්ත්වයකින්ම නැවත නැවතත් හෙළිදරව් කරන කරුණයි. එය රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය සමඟත් විශේෂයෙන්ම රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය තුළ ප්‍රමුඛතම අවධානයක් යොමුකළ යුතු කරුණක් වන බවත් මෙම සටහන අවසන් කිරීමට පෙර අවධාරණය කර සිටින්නේ ජනතාවගේ මුදලින් උපාධියක් ලබා රටට සහ සමාජයට සේවය කිරීමට අපේ රටේ උපාධිදාරීන් සතුව පවත්නා වගකීම මෙලෙස අපතේ හැරීමට කටයුතු කර තිබීම පුද්ගලිකව උපාධිදාරීන්ට මෙන්ම රටට සහ සමාජයට ද සිදුකරන බරපතළම හානිය වන නිසාවෙනි. මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න. ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි. මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න. ....   වැඩිදුර >>  
Next || Previous