ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ෆෙඩරල් අමරපුර නිකාය [ යාම් : 31 ] | කට්ටකාඩුව | 2017-11-04 03:43:14
 මේ දවස් වල ෆෙඩරල් ක්‍රමය හොඳද නරකද කියලා දෙලෝ කෝටියක් කතා බහ සමාජේ පුරාම පැතිරිලා තියනවා. මහා සංඝරත්නය එක්සත්ව ඒ ගැන අදහස් දක්වපු බවකුත් පහුගියදා කියවුනා. මේ සතියේ පත්තරේක අමරපුර නිකායෙන් නිකුත් කරපු ප්‍රකාශයක් පලවෙලා තිබුනා. ඒකෙ විදිහට ෆෙඩරල් ක්‍රමය හොඳ නෑලු. ෆෙඩරල් ක්‍රමය හොඳයිද නරකයිද කියන එක වෙනම කතා කරන්ඩ ඕන දෙයක් උනත් කවුරු හරි තමන් ෆෙඩරල් ක්‍රමය භාවිතා කරමින්ම ඒක හොඳ නෑ කියල කියනවනං එක ගැන ටිකක් හොයල බලන්ඩ වටිනවා. ලංකාවේ දැනට පවතින නිකායවල් අතරින් ශ්‍යාමෝපාලි වංශික මහා නිකාය නොහොත් සියම් මහා නිකායත්, රාමඤ්ඤ නිකායත් දෙකම ඒවගේ ආරම්භයේ ඉඳම්ම බොහොම මධ්‍යගත පාලන ක්‍රමයකටයි සකස්වෙලා තියෙන්නේ. හැබැයි අමරපුර නිකාය ඒකෙ අනිත් පැත්ත. විවිධ කණ්ඩායම් රාශියකගේ එකමුතුවෙන් තමයි ඒ නිකාය හැදිලා තියෙන්නේ. ෆෙඩරල් කියන්නේ ස්වාධීන කොටස් එකතුවෙලා නිර්මාණය වෙන එකමුතුවක් නම් අමරපුර නිකායත් ෆෙඩරල් ක්‍රමයක් අනුගමනය කරන -ආයතනයක්-. ඉතිං මට පොඩි හිතක් පහල උනා අමරපුර නිකායේ ඉතිහාසය හොයලා බලන්ඩ. අද ලිපිය ඒ හොයාගත්තු කරුණු සමහරක් ඔබත් සමග බෙදාගන්න අරමුණෙන් ලියවෙනවා.ලංකාවේ උපසම්පදාව (ථේරවාදී බෞද්ධ භික්ෂූන් අධි ශීල සමාදානය වීම එහෙම නැත්නම් මහණ දම් පිරීමේ මූලික අවස්තාව වන සාමණේර තත්වයෙන් ඉහලට උසස්වීම ලබන ක්‍රියාවලිය) අවසාන වරට නැතිවෙලා තිබ්බ යුගයේ, ඒ කියන්නේ මහනුවර යුගයේ වැලිවිට ශ්‍රී අසරණසරණ සරණ සරණංකර ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් උපසම්පදාව නැවතත් මෙරටට ගෙන එන්නේ එකල සියම නමින් හැඳින්වෙච්ච අද තායිලන්තය කියන රටෙන්. ඒ බුද්ධ වර්ෂ 2296 දී. එහෙම නැත්නම් ව්‍යවහාර වර්ෂ 1753 දී. හැබැයි මේ විශිෂ්ට අවස්ථාවෙන් යන්තං අවුරුදු එකොළහක් යනකොට කිරි මුට්ටියට ගොම වැටෙනවා. සියම් නිකාය තීරණයක් ගන්නවා තමන්ගේ නිකාය තුල උපසම්පදාව ලැබිය හැක්කේ ගොවි කුලයේ ඉපදුනු අයට පමණයි කියලා. කුල බේධයට විරුද්ධව පුරෝගාමී මෙහෙයක් කරපු බුදුන් වහන්සේගේ ධර්මය තුලට කුල බේධය ඇතුල් වෙලා සංස්ථාපිත වෙනවා. මේ තත්වයට විරුද්ධව ගොවි කුලෙන් පරිබාහිර විශේෂයෙන්ම පහතරට ප්‍රදේශ වලින් මහන දම් පිරීමට එකතු වෙච්ච ස්වාමීන්වහන්සේලා අරඹපු සටනක ප්‍රතිපලය තමයි අමරපුර නිකාය. උඩරට ප්‍රදේශ වලින් නැතිව පහත රටින් මේ සටන ඇරඹෙන්නට ප්‍රධාන හේතු දෙකක් තිබුනා. පලවෙනි එක විදේශයකින් උපසම්පදාව ලබා ගැනීමට ථේරවාදී බුදු දහම පවතින රටකට සංචාරය කරන්නට සිදුවීම. ඒක කරන්නට උඩරට ප්‍රදේශ වල රජතුමා වෙච්ච කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ඉඩ දෙන එකක් නැහැ සියම් නිකායික භික්ෂූන්ගේ විරුද්ධත්වය නිසා. අනික් අතට රජතුමා කැමති උනත් ඔහුටත් එවකට මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගෙන හිටපු ලන්දේසීන්ගේ සහය ලබා ගන්ඩ වෙනවා. ඉතින් කෙලින්ම ලන්දේසින්ගෙන් උදව් ඉල්ලපුවම වැඩේ ඉක්මන්. දෙවැනි හේතුව ඒ වෙනකොට පහතරට ප්‍රදේශවල දියුණු වෙලා හිටපු සිංහල මධ්‍යම පාන්තික බලය. රජතුමාගේ සහය නැතුව උනත් මේ වගේ වැඩකට ඕන සම්පත් ලබා දෙන්ඩ ඔවුන්ට හැකියාව තිබුනා. ඒ කොහොම උනත් එවකට සංඝරාජ පදවිය දැරූ වැලිවිට සරණංකර හාමුදුරුවෝ මේ උත්සාහයට උදව් කරනවා. මේ උත්සාහයට උදව් කරන්ඩ කියලා ඉල්ලමින් සංඝරාජ හාමුදුරුවෝ ලිපියකුත් ලබා දෙනවා. කුල බේධයෙන් තොරව ලාංකික හැමෝටම බුදු සසුන තුල උපසම්පදාව ලබා ගැනීමට ඒ සඳහා උනන්දු වෙච්ච සංඝරාජ හාමුදුරුවෝ අකමැති වෙන්නේ මොකටද? ඒ සිද්ධියෙන්ම පැහැදිලි වෙනවා අර -ගොවි කුල කුමන්ත්‍රණය- ට සංඝරාජ හාමුදුරුවෝ අකැමැත්තෙන් පසුවෙච්ච බව. අනික් අතට අමරපුර නිකාය පිහිටුවන්ඩ නායකත්වය දෙන වැලිතර සිරි ඤාණවිමල තිස්ස හාමුදුරුවෝ මුලින්ම මහණවෙලා හත් අවුරුද්දක් බන දහම් ඉගෙන ගත්තෙත් සංඝරාජ හාමුදුරුවෝ ළඟමයි.ඉතින් ලන්දේසීන්ගේ උදවුවෙන් ඤාණවිමල හාමුදුරුවොත් තවත් හාමුදුරුවරු පස් දෙනෙකුත් බු.ව. 2342 මාර්තු මාසෙදී (ව්‍ය.ව.1799 දී ඒ කියන්නේ සියම් නිකායෙන් ගොවි කුලයෙන් පිටත අයට උපසම්පදාව දීම නවත්තලා අවුරුදු 35 කට පස්සේ) නැව් නගිනවා තායිලන්තෙට යන්ඩ. නමුත් නව මුහුදෙදි අනතුරු ගණනාවකට ලක්වෙන හින්දත් නැවේ කපිතාන් ගෙන් දැන අහගන්න විදිහට ඒ වෙනකොට තායිලන්තෙට වඩා ථේරවාදී බුදු දහම බුරුමයේ දියුණුව පවතින හින්දාත් මේ හාමුදුරුවරු තීරණය කරනවා බුරුමයට යන්ඩ. ලංකාවෙන් පිටත්වෙලා මාස 14කට පස්සේ මේ පිරිස බුරුමයේ එකල අගනුවර වෙච්ච -අමරපුරයට- ලඟා වෙනවා. ඒ නිසයි මේ නිකාය අමරපුර නිකාය කියලා හැඳින්වෙන්නේ. ඒ කොහොම උනත් මුහුදෙදි වෙච්ච කරදරත්, ලංදේසි කපිතානුත් නිසා නෙවෙයි නම් මේ අලුත් නිකාය හැදෙන්නෙත් සියම එහෙම නැත්නම් තායිලන්තය මුල් කරගෙනම තමයි. ඒ කොහොම උනත් තවත් අවුරුදු තුනක් එහෙදි පුහුණු වීමෙන් පස්සේ බු.ව. 2346 (ව්‍ය.ව.1803) උපසම්පදාව ලබාගෙන ඒ අවුරුද්දෙම ලංකාවට වැඩම කරනවා. වැලිතර අම්බරුක්ඛාරාමය තමයි අමරපුර නිකායට අයිති පළමු පංසල. ටික කාලෙකට පස්සේ ආපහු බුරුමයට වඩින ඤාණවිමල හාමුදුරුවෝ එහෙදි තවත් බන දහම් ඉගෙන ගෙන ආපහු එනකොට බුරුම රජතුමා -මහාධම්මරජාධිරාජගුරු- කියන නාඹු නාමයත් ලංකාවේ අමරපුර නිකායේ සංඝනායක පදවියත් පිරිනැමුවලු. ඒ කියන්නේ අමරපුර නිකායේ පළමු මහා නායක හාමුදුරුවෝ පත් කරන්නෙත් බුරුම රටේ රජ්ජුරුවෝ. මුලින්ම අමරපුර සමාගම විදිහට හඳුන්වපු මේ අලුත් භික්ෂු වංශය බු.ව. 2462 දී (ව්‍ය.ව. 1919) කොටස් දෙකකට කැඩෙනවා.හේතුව නායකත්ව අර්බුධයක්. එක කොටසක් තමන් මුල ඉඳම්ම පවත එන අමරපුර වංශය බව කියැවෙන අමරපුර මූලවංසික නිකාය කියලා හඳුන්වා ගනිද්දී අනික් කොටස තමන් අමරපුර මහා නිකාය කියලා හඳුන්වා ගත්තා. ඊට ඉස්සර නිකාය එකට තිබුණු කාලේ, බු.ව. 2429 (ව්‍ය.ව.1886) බුරුමයේ මහාගණ්ටි නිකායේ මහා නායක හාමුදුරුවෝ ලංකාවට වැඩියා. ඒ වෙලාවේ එතුමන්ගෙන් උපසම්පදාව ලබා ගත්තු වැලිතර ඤාණතිලක කියන හාමුදුරුවෝ (උන් වහන්සේ  වැලිතර සිරි ඤාණවිමල තිස්ස අමරපුර නිකායේ ආරම්භක හාමුදුරුවන්ගේ ගෝල පරපුරෙන් පැවත ආපු කෙනෙක්. තවත් විශේෂත්වයක් වෙන්නේ ඔහු උපත ලැබුවේ වැලිතර එදිරිසිංහ වලව්වේ උරුමක්කාරයෙක් විදිහට). තමන්ගේ ගුරු හාමුදුරුවන් වහන්සේව මහා නායක තනතුරේ තියා ගෙන අලුත් නිකායක් ආරම්භ කළා. බුරුම මහාගණ්ටි නිකාය ආශ්‍රිතව අරඹපු හිංදා මේ නිකාය අමරපුර චූලගණ්ටි නිකාය කියලා හැඳින්වෙනවා.  බු.ව. 2473-75 (ව්‍ය.ව.1930-32). කාලෙදි වස්කඩුවේ අරියවංසතිලක මෙධාවිතිස්ස හාමුදුරුවන්ගේ නායකත්වයෙන් අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාව ඇතිවෙනවා. එහි අරමුණ ජාති, කුල ගෝත්‍ර ආදිය නොසලකා හැමෝටම මහන උපසම්පදාව ලබා ගැනීමට උදව් කිරීම. ඒ කියන්නේ එවකට පැවතිච්ච අනෙක් කොටස් ඇතුලටත් කුල, ගෝත්‍ර, ප්‍රදේශ වාදය වගේ දේවල් ඇතුල් වෙලා තිබ්බා කියන එකයි. මේ අලුත් නිකායෙන් කිය උනත් නැතත් ඇත්තටමත් උනේ ඒක.  ඔය මං කිව්වේ අමරපුර නිකායේ නිර්මාපක හාමුදුරුවන්ගේ පරපුරෙන්ම ඇති වෙච්ච බෙදීම්. මීට අමතරව කුලය හිංදා, උඩරට-පාතරට බේධය හිංදා විතරක් නෙවෙයි සමහර විට සහාය දෙන ගිහියන්ගේ උවමනාවටත් අමරපුර නිකාය කුඩා නිකායයන්ට කැඩිලා ගියා. පහත සටහන ඒ බව පැහැදිලි කරනවා. මේ බේධ ඇතිවුන ආකාරය විස්තර කරන්ඩ යන්නේ නැත්තේ එය නීරස විය හැකි නිසා. නමුත් ඒ හේතු ඉහත දක්වූ ආකාරයටම කිසිදු බරපතල බේරුම් කරගත නොහැකි ධර්ම හා විනය ගැටළු මත පැන නැගුනු ඒවා නොවෙයි. කොටින්ම මේ කිසිදු නිකායක් ත්‍රිපිටකය හෝ වෙනත් බුදු දහමේ මූලික හරයන් සම්බන්ධයෙන් කිසිදු ආකල්පමය විරෝධතාවක් දක්වන්නේ නෑ. ඒ කියන්නේ අනික් අතට -බලය- ඇරුනාම වෙන පැහැදිලි හේතුවක් නෑ මේ නිකාය බේධයට.අමරපුර නිකායේ එක් එක් පාර්ශ්ව ඇතිවීමට මුල්වූ සඟ පරපුරු පහක් තියනවා.1. වැලිතර සිරි ඤාණවිමලතිස්ස මාහිමිපාණන්ගේ පරපුර  2. බෝගහපිටියේ සිරි ධම්මජෝති මාහිමිපාණන්ගේ පරපුර3. අත්තුඩාවේ සිරි ධම්මරක්ඛිත මාහිමිපාණන්ගේ පරපුර  4. කතළුවේ සිරි ගුණරතන මාහිමිපාණන්ගේ පරපුර 5. කපුගම සිරි ධම්මක්ඛන්ධ මාහිමිපාණන්ගේ පරපුරපහත දැක්වෙනුයේ ඒ ඒ මාහිමිපාණන්ගේ අනුදැනුමෙන් හෝ එතුමන්ගේ ශිෂ්‍යයන් අතින් බිහිවූ නිකායයන්ය. ඒ ඉදිරියෙන් බු.ව. 2533 (ව්‍ය.ව. 1990) වනවිට ඒ ඒ නිකායයන්ට අයත් පන්සල් ප්‍රමාණයද දැක්වේ.1. වැලිතර සිරි ඤාණවිමලතිස්ස මාහිමිපාණන්ගේ පරපුර  අමරපුර මූලවංසික නිකාය                                    බු.ව. 2462 දී (ව්‍ය.ව. 1919)           [123]අමරපුර මහා නිකාය                                               බු.ව. 2462 දී (ව්‍ය.ව. 1919)           [142]අමරපුර චූලගණ්ටි නිකාය                                     බු.ව. 2429  දී (ව්‍ය.ව. 1886)           [105]අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාව බු.ව. 2473-75 (ව්‍ය.ව.1930-32)    [04]2. බෝගහපිටියේ සිරි ධම්මජෝති මාහිමිපාණන්ගේ පරපුරසපරගමු අමරපුර සිරි සද්ධම්මවංස නිකාය (එක්නැලිගොඩ විහාර පාර්ශ්වය)                                                                                           බු.ව. 2474 දී (ව්‍ය.ව. 1930) [34]සපරගමු අමරපුර සිරි සද්ධම්මවංස නිකාය (පැල්මඩුල්ල  පාර්ශ්වය)                                                                                                              බු.ව. 2454 දී (ව්‍ය.ව. 1910) [39]සපරගමු අමරපුර සිරි සද්ධම්මවංස නිකාය (ඉද්දමල්ගොඩ විහාර පාර්ශ්වය)                                                                         බු.ව. 2384 දී පමණ (ව්‍ය.ව. 1840 පමණ) [12]ඌව අමරපුර නිකාය                                                බු.ව. 2388 දී (ව්‍ය.ව. 1844) [57]උඩුකිඳ අමරපුර නිකාය                                           බු.ව. 2476 දී (ව්‍ය.ව. 1932) [17]සබරගමු අමරපුර සිරි සද්ධම්මවංස නිකාය (රාස්සගල විහාර පාර්ශ්වය)                                                                                                    බු.ව. 2449 දී (ව්‍ය.ව. 1905) [70]උඩරට අමරපුර මහා නිකාය                                 බු.ව. 2375 දී (ව්‍ය.ව. 1831) [326]උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාව                     බු.ව. 2499 දී (ව්‍ය.ව. 1955) [40]අමරපුර වජිරවංශ මහා නිකාය                            බු.ව. 2444 දී (ව්‍ය.ව. 1900) [40]3. අත්තුඩාවේ සිරි ධම්මරක්ඛිත මාහිමිපාණන්ගේ පරපුර  අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකාය                         බු.ව. 2361 දී (ව්‍ය.ව.1817) [177]4. කතළුවේ සිරි ගුණරතන මාහිමිපාණන්ගේ පරපුර අමරපුර නිකාය                                                                බු.ව. 2354 දී (ව්‍ය.ව. 1810) [152]අමරපුර සිරි සද්ධම්මයුක්තික (මාතර ) මහා නිකාය බු.ව. 2357 දී (ව්‍ය.ව. 1813) [102]කල්‍යාණිවංශික ශ්‍රී ධර්මාරාම සද්ධර්මයුක්තික (මාතර) නිකාය                                                                                                                                    බු.ව. 2385 දී (ව්‍ය.ව. 1841) [27]අමරපුර අරියවංස සද්ධම්මයුක්තික මහා නිකාය     බු.ව. 2444 දී (ව්‍ය.ව. 1900) [256]අමරපුර ම්රම්මවංශාභිධජ සිරි සද්ධම්මයුක්තික මහා නිකාය                                                                                                                                      බු.ව. 2448 දී (ව්‍ය.ව. 1914) [35]5. කපුගම සිරි ධම්මක්ඛන්ධ මාහිමිපාණන්ගේ පරපුරදඩලු පරම්පරායත්ත අමරපුර සමාගම                        බු.ව. 2355 දී (ව්‍ය.ව. 1811) [45]අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය                        බු.ව. 2415 දී (ව්‍ය.ව. 1871) [239]ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය                                                 බු.ව. 2450 දී (ව්‍ය.ව. 1906) [41] මෙන්න මේ විදියට කොටස් 22 කට අමරපුර නිකාය බෙදිලා තියෙනවා. මේ හැම එකකටම වෙනම මහා නායක හිමිවරු වගේම අනෙකුත් විවිධ තනතුරු පවතිනවා. ඉහත දැක්වූ ආරම්භක වර්ෂ සමහර මූලාශ්‍ර වල විතරක් දකින්ට ලැබෙන හින්දාත් එහෙම සඳහන් වෙන අවස්ථා වලදී පවා බුද්ධ වර්ෂයෙන් හෝ  ව්‍යවහාර වර්ෂයෙන් විතරක් දැක්වෙන හිංදා පොඩි පොඩි වෙනස්කම් ඇතිවෙන්ඩ පුළුවන්. ඒ ගැන සමාව දෙනු ඇතැයි විශවාස කරනවා. ඒ කොහොම උනත් මට කියන්ඩ ඕන උනේ බලය කියන අවශ්‍යතාවය මත එක එක අවස්ථා වලදී එක එක නිකායවල් අමරපුර නිකාය තුලම ඇතිවූ බව. ඒ ඒ නිකායන්ට අයත් පන්සල් ප්‍රමාණයත්, හාමුදුරුවරු ප්‍රමාණයත් විශාල ලෙස වෙනස් වෙනවා. උදා හරණයක් විදිහට සමහර කොටස් වලට පන්සල් 4තියෙද්දී සමහර කොටස් වලට පන්සල් 326 විතර තියෙනවා. සමහර නිකායයන්ට අයත් මුලු උපසම්පදාව ලැබූ හාමුදුරුවරු ගණන 30 විතර වෙද්දී සමහර කොටස් වල මේ සංඛ්‍යාව 490 විතර වෙනවා. මේ 1990වෙනකොට. අද තත්වයත් මීට සමානුපාතික වෙන්නට හොඳටම ඉඩ තියෙනවා. වෙන වෙනම පාලනය වෙන මේ නිකාය කොටස් ටික එක්කහු කරලා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව පිහිටුවන්නේ 1966 දී. ඒ ලෝක ප්‍රසිද්ධ මහා පඬි රුවනක් වන අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මයිත්‍රීය මහ නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්. එදා ඉඳන් එක් එක් කොටස් වෙන වෙනම පාලනය උනාට ජාතික, ආගමික කටයුතු වලදී මුල්තැන ගන්නේ මේ -එක්සත්- වෙච්ච ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව.මගේ කල්පනාවේ හැටියට මීට වඩා දීර්ඝ කාලයක් ලංකාව පුරාම පැවතුනු ෆෙඩරල් ආයතන ව්‍යුහයක් සහිත කිසිම ආයතනයක් නෑ. අමරපුර නිකාය මේ ෆෙඩරල් බව හිංදා විනාශ වෙච්ච බවකුත් පේන්ඩ නෑ. අනික් අතට කෙනෙකුට අහන්ඩ පුලුවන් මීට වඩා විශාල නිකායවල් මධ්‍යගත පාලන ක්‍රමයකින් පාලනය වෙද්දී ෆෙඩරල් වීමේ ඇති අවශ්‍යතාවය මොකද්ද කියලා. මට එකට දෙන්ඩ තියන උත්තරේ බලය ලබා ගැනීමට සහ භුක්ති විඳීමට පුහුදුන් මිනිසා තුල ඇති නිම නොවන ආශාව තමයි එකට හේතුව කියල. අමරපුර නිකායේ හාමුදුරුවරු කවුරුවත් තමන් රහත් උනා කියල ප්‍රසිද්දියේ ප්‍රකාශ කරලත් නෑ ඒ හින්දම ඒ වගේ ප්‍රකාශ ඉල්ලා අස්කරගෙනත් නෑ.වැදගත්මේ ලිපිය සකස් කිරීමේදී අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනායක හිමියන්ගේ බුද්ධ වංශය - සාසන වංශය හා අමරපුර වංශය කියන පොතත්, මහාචාර්ය දයා එදිරිසිංහ මහතාගේ සහ මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාගේ අමරපුර උදාව කියන පොතත්, මයිකල් රොබර්ට්ස් මහතාගේ Sinhala Conciousness in the Kandyan Period 1590-1815 පොතත් කිත්සිරි මලල්ගොඩ මහතාගේ  Buddhism in Sinhalese Society, 1750-1900: A Study of Religious Revival and Change කියන පොතත් මහෝපකාරී උන බව මතක් කරන්ඩ ....   වැඩිදුර >>  
Next || Previous