ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
මිනිසුන්-නොමිනිසුන්, මිතුරන් හා ප්‍රේමය මැද සරසවියේ සිව් වසරක මතකය [ යාම් : 28 ] | Iranga.net | 2017-07-13 07:25:52
සිව් වසරක සරසවි දිවිය නිමා කරමින් උපාධි උත්සවය පැවැත්වීම සඳහා දින නියම වී තිබේ. එය එක් අතකින් සතුටුදායක පණිවිඩයක් වනවා සේම අනෙක් අතින් සිත තුළ සියුම් කණගාටුවක් ද ඇති කිරීමට හේතු විය. මන්ද යත් රජයේ සරසවියක සිව් වසරක සරසවි දිවියක් යනු ජීවිතයේ වරක් පමණක් ලැබෙන ඉතාම අතළොස්සකට පමණක් හිමිවන ලංකාව වැනි රටක අතිදුර්ලභ අවස්ථාවක් වන බැවිනි. එබැවින් එම අතිදුර්ලභ අවස්ථාවෙන් ලබා ගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගැනීම හා එම අවස්ථාව ජීවිතයේ උපරිම සාර්ථකත්වය ලබා ගැනීම සඳහා කැප කිරීම කළ යුතුය. ඒ අනුව එම වටිනා අවස්ථාවෙන් ලබා ගත හැකිවූ සියල්ලේ අවසානය සනිටුහන් කරමින් සරසවි භූමියට සමුදිය යුතු දිනය එළඹී ඇත. මේ ඒ වෙනුවෙන් තබන සටහනකි. මා සරසවියට පැමිණි මුල් දිනය මට අද මෙන් මතක තිබේ. හරියටම කියන්නේ නම් ඒ 2013 වර්ෂයේ මැයි මස 6 වන දාය. මා සරසවියට පැමිණෙන්නේ මාගේ සහෝදර සිසු සිසුවියන් සරසවි පැමිණෙන දිනයේ දී ම නොවේ. ඒ මා මෙම සරසවියට පැමිණෙන්නේ අභියාචනාවක් ඉදිරිපත් කිරීමෙන් වන බැවිනි. එනම් මුලින්ම මා සරසවි ප්‍රවේශය සඳහා තේරෙන්නේ රජරට විශ්විද්‍යාලයටය. එහෙත් ජීවිතයේ හැරවුම් ලක්ෂය ශ්‍රී පාලි මණ්ඩපය වන බව දෛවය විසින් පූර්වයෙන් සැලසුම් කර තිබූ නිසාදෝ මා ඉදිරිපත් කළ අභියාචනය පිළිගෙන ශ්‍රී පාලි මණ්ඩපයට පැමිණීමට මට අවස්ථාව උදාවේ. එතැන් පටන් සෑම මොහොතක්ම අවස්ථා අභියෝග අවිනිශ්චිතතා දුක සතුට මැදින් ගත වන්නේ ජීවිතයේ වඩාත් වැදගත්ම කාල සීමාව මෙම සිව් වසර බව නැවත නැවතත් සිහිගන්වමිනි. මිනිසුන් – නොමිනිසුන් අතර කාලයක් මෙම කාලය තුළ බොහෝ මිනිසුන් ද හමුවිය. නොමිනිසුන් ද හමුවිය. මිනිසුන් නොමිනිසුන් වෙන් කරනා රේඛාවේ ඇති නොපැහැදිලිතාව කෙතරම් දැයි පසක් කර ගැනීමට ගතවූ මෙම සිව් වසරක කාලය පමණක්ම ප්‍රමාණවත් විය. එය එක් අතකින් පොත් දහසක් වුවත් කියවා ලබා ගත නොහැකි ජීවින අත්දැකීම් සමුදායකි. මිනිසුන් ගැන මෙම අත්දැකීම් සමූහය මා ලබන්නේ සරසවිය තුළ දී හමුවූ පුද්ගලයින්ගෙන් පමණක් නොවේ. මා සරසවියට පැමිණීම නිසා මට ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණු පුද්ගලයින් ද මෙහිදී මට ජීවිතය පිළිබඳ ඉගෙනීමට වැදගත් විය. ඇතමුන් තමන් ආ මඟේම වෙනකෙක් එනවා දැකීම නොරිස්සූ පුද්ගලයින් විය. ඇතමුන් මනුස්සකම් තුට්ටුවට දමා වැඩකළ මහත්තයින් (මහත්තයා සහ මහත්මයා අතර වෙනස හඳුනාගන්න) විය. කෙසේ වෙතත් මේ මිනිස් – නොමිනිස් ජීවීන් විසින් මට කියා දුන් ජීවිතය පිළිබඳ පාඩම් සරසවියේ දී මා ලද දේශන වලට වඩා වැදගත් වූ බව පමණක් මෙහිදී කිව හැකිය. මෙම සිව්වසර තුළ මට හමුවූ උත්තුංග මිනිසුන් එනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසුන් වූ පුද්ගලයින් පිළිබඳව ද මෙහිදී සඳහන් කිරීම වැදගත්ය. ඒ අතරින් කටපුරා මිනිසෙකු යැයි කිව හැකි, මාගේ ලේඛන කටයුතු නිසා තරමක් ළඟින් ඇසුරු කිරීමට හැකිවූ ටියුඩර් වීරසිංහයන්ව මෙහිදී එක්වරම සිහියට නැඟේ. ඔහු නමින් ආචාර්ය ටියුඩර් වීරසිංහ වුවද ඔහු සමඟ කටයුතු කිරීමේ දී එම ආචාර්ය තත්ත්වය අභිබවා ඔහුගේ මිනිසත්කම ඉස්මතු විය. මාගේ සමාජ මාධ්‍ය කෘතියේ අඩුපාඩු ඉක්මනින් සකස් කර දීමට එතුමා ක්‍රියා කළ ආකාරයත් මාගේ පර්යේෂණ නිබන්ධනයේ වැඩ කටයුතු වල දී පුරාවිද්‍යාව සම්බන්ධයෙන් එතුමා හඳුනන පුද්ගලයින් මට සම්බන්ධ කර දීමටත් එතුමා කටයුතු කළ ආකාරය කිසිදා අමතක කළ නොහැකිය. මාගේ කෘතිය එළිදක්වන විට ආචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි නමින් අප විසින් හැඳින්වූ එහෙත් දැන් මහාචාර්යවරයෙකු බවට පත්ව සිටින අපගේ මණ්පාධිපතිතුමා සමඟ ගනුදෙනු කිරීමේ දී ද එතුමාගේ මිනිසත්කම එතුමාගේ තනතුරෙන් ඔබ්බට ගියා වූ තත්ත්වයක පැවති බව ද පැවසිය යුතුමය. මාගේ පොතට හැඳින්වීමක් ලියා දීමට කාරුණික එතුමා ක්‍රියා කළේය. ඉන්පසුව මට මතකයට නැඟෙන සුවිශේෂී චරිතයක් වන්නේ ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් මහතාය. පර්යේෂණ ඒකකයේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමට මම එතුමා සමඟ සම්බන්ධ වීමෙන් පසු එතුමාගේ පුද්ගලික වෙබ් අඩවිය නිර්මාණය කිරීමට කටයුතු කිරීම ඔස්සේ එහි වැඩකටයුතු සඳහා එතුමාගේ නිවසට යාමට සහ එතුමාගේ පවුලේ සාමාජිකයින් හඳුනාගැනීමට ද මට අවස්ථාව උදාවිය. ඒ අනුව ඩෙංගු රෝගය වැළඳීමෙන් මා හොරණ රෝහලේ නේවාසිකව සිටිය දී එතුමාගේ මහත්මිය සමඟ මා බලන්නට පැමිණීම ද මම ඉතා ගෞරවනීයව සිහිපත් කරමි. එසේම මාගේ කෘතියේ වැදගත්කම ඉහළ යාමට එතුමා ලියා දුන් පෙරවදන ද බෙහෙවින් බලපෑ බව කිව යුතුය. මෙම චරිත අතර කුමේෂ් ප්‍රභාෂීණී මහත්මිය ද මාගේ සියළුම කාර්යයන් වලට උදව් උපකාර කළ මට මුණගැසුණු සුවිශේෂීම චරිතයක් වශයෙන් මම සඳහන් කරමි. ඇය මාගේ කෘතියේ මුල්ම පාඨකයා විය. මන්ද යත් මා විසින් යතුරු ලියනය කර තිබූ මුල්ම පිටපත මම මුලින්ම කියවීමට ලබා දුන්නේ ඇයට වන නිසාය. ඉන්පසු එහි අඩුපාඩු සකස් කර දී එම කෘතියේ එළිදැක්වීමේ උත්සවය දක්වා සිය බුද්ධිමය ශ්‍රමය, කාලය ඇය වැය කළාය. ඒ සියල්ලක්ම උතුම් මිනිසුන් නොමිනිසුන් අතර අතළොස්සක් හෝ සිටින බව මට පසක් කළ ජීවමාන සාක්ෂිය. එබැවින් ඇය මාගේ සරසවි ජීවිතයේ මට හමුවූ ඉතාම ලෙන්ගතු චරිතයක් බව ගෞරවනීයව සිහිපත් කරමි. සජිතා ලක්මාලි කථිකාචාර්යවරියද සරසවි සමයේ දී මම ඉතා සමීපව ඇසුරු කළ අනෙක් ආචාර්යවරියයි. ඇය මාගේ පෙම්වතියගේ සහෝදරියගේ සරසවි මිතුරියක් වූ බැවින් ඇය එක් අතකින් කථිකාචාර්ය භූමිකාවට වඩා ඔබ්බෙන් මා සමඟ බැඳීමක් ඇතිව කටයුතු කළාය. ජීවිතයේ වැදගත්ම තීරණ ගැනීමේ දී ඇය සමඟ සාකච්ඡා කිරීමට ඒ ඔස්සේ මා කටයුතු කිරීම තුළ ඇගේ දැනුම, අත්දැකීම් තුළින් මාගේ ජීවිතයට ආලෝකයක් ලබා ගැනීමට හැකිවිය. එසේම මා ඇය තුළ දකිනා සුවිශේෂතම ලක්ෂණය වන්නේ යම් වැඩක් කළ යුතු බව තීරණය කළ පසු එය කෙසේ හෝ අවසාන වන තෙක්ම කිරීමට ඇය සතුවූ නොපසුබස්නා ශක්තියයි. එය ක්‍රියාවෙන් පසක් වූයේ ඇය සමඟ මා ජනමාධ්‍ය සංගමයේ කටයුතු කරන අවධියේ දීය. එහිදී සංගීත ප්‍රසංගයක්, විවාද තරඟයක් ඇතුළු කාර්යයන් ගණනාවක් ඇගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කිරීමට මා ඇතුළු එවකට ජනමාධ්‍ය සංගමයේ නිලධාරීන් වශයෙන් කටයුතු කළ මාගේ සහෝදර විද්‍යාර්ථීන්ට හැකිවූ අතර ඒ සෑම කාර්යයක් පසුපසම පැවතියේ ඕනෑම කාර්යයක් අවසාන වන තෙක් කවර බාධාවක් පැමිණියත් කරගෙන යාමේ ඇය සතුව පැවති සුවිශේෂී කැපවීම බව පැවසිය යුතුය. ඇගේ එම ලක්ෂණය පසුව මා ද මාගේ කාර්යයන් වලදී අනුගමනය කිරීමට කටයුතු කළ බැවින් ඇගෙන් උගත් ජනමාධ්‍ය සම්බන්ධ දේශනවලට වඩා එම ජීවිත පාඩම් වල වැදගත්කමේ සුවඳ ජීවිත කාලය පුරාවටම මා හට දැනෙන බව මට විශ්වාසය. මෙම මිනිසුන් අතර තවත් බොහෝ මිනිසුන් මෙන්ම නොමිනිසුන් ද හමුවිය. එහෙත් විශේෂයෙන්ම සඳහන් කළ යුතු චරිත කිහිපයක් පමණක් මෙහිදී සඳහන් කළෙමි. ඒ අනුව මිනිසුන් නොමිනිසුන් මැද ගත වූ මෙම සිව්වසර ජීවිතයට වැදගත් වූ සුවිශේෂීම වසර හතරක් බව නැවත නැවතත් සඳහන් කළ යුතුය. ඉතිහාසය වෙනස් කළ සිව් වසරක් මා ඇතුළු මාගේ සහෝදර සිසු සිසුවියන් සරසවියේ ගත කළ සිව් වසරක කාලය තුළ ඉතිහාසය වෙනස් කළ බොහෝ දෑ සරසවිය වෙනුවෙන් කළ බව මෙහිදී මතක් කළ යුතුය. ඒ අනුව මෙම සිව් වසර තුළ ජනමාධ්‍ය සම්බන්ධයෙන් වන කෘති දෙකක් මා සහ මාගේ මුද්‍රිත මාධ්‍ය අධ්‍යයන විද්‍යාර්ථින් විසින් එළිදැක්වීමට කටයුතු කළේය. එය අප විසින් මෙම ශ්‍රී පාලි මණ්ඩපය වෙනුවෙන් ඉටුකළ යුතු බුද්ධිමය මැදිහත් වීම පූරණය කිරීමක් බව මම විශ්වාස කරමි. එසේම එහි අනෙක් අරමුණ වන්නේ අප විසින් ගත් එම මඟ අපෙන් පසු පරම්පරාව විසින් ද අනුගමනය කරනු ඇතැයි අප විශ්වාස කිරීමයි. මාගේ සමාජ මාධ්‍ය කෘතිය එළිදැක්වීමෙන් පසු කෘති එළිදැක්වීමට විද්‍යාර්ථින් තුළ යම් උනන්දුවක් ඇතිවූ බව මට පසක් වූයේ පුද්ගලිකව කිහිපදෙනෙකු පැමිණ ඒ සම්බන්ධයෙන් මාගෙන් විමසූ බැවිනි. එසේම පශ්චාත් උපාධි අධ්‍යයන විද්‍යාර්ථින්, මාගේ අධ්‍යයන කණ්ඩායමේ විද්‍යාර්ථයින් මෙන්ම කණිෂ්ඨ විද්‍යාර්ථයින්ද මාගේ එම කෘතිය ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා මූලාශ්‍ර ග්‍රන්ථයක් වශයෙන් භාවිත කිරීම මම එම කෘතියෙන් හේතුවෙන් ලබන විශාලතම සතුටයි. එම සතුට කිසිදා මුලදට ලබා ගත නොහැකි තත්ත්වයක් බව මම දනිමි. ඒ සම්බන්ධයෙන් ඔවුන් මාගෙන් දුරකථනයෙන් විමසමින් දක්වන ප්‍රතිචාර නිරන්තරයෙන් මා දිරිමත් කරන බව පැවසිය යුතුය. විශේෂයෙන්ම ශ්‍රී පාලි ඉතිහාසයේ පළමු වරට මුද්‍රිත මාධ්‍ය විද්‍යාර්ථීන් පිරිසක් එකතු වී සිය අවසන් වසර නිෂ්පාදනය වශයෙන් කෘතියක් එළැදැක්වීම ද ඉතා සුවිශේෂී අවස්ථාවකි. එම එළිදැක්වීමේ උත්සවයට වික්ටර් අයිවන් මහතාගේ පැමිණීමත් ඒ සඳහා පෞද්ගලිකවම මාහට මැදිහත් වී එතුමා උත්සවයට පැමිණීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට අවස්ථාව ලැබීමත් මා හට හිමි වූ විශේෂ අවස්ථාවක් වශයෙන් මම සලකමි. හොස්ටල් දිවියේ වසර හතරක් මා සරසවි පැමිණි දින සිටම සරසවියෙන් නික්මෙන තෙක්ම මා ගත කළේ නේවාසිකාගාර දිවියකි. එනම් අනෙක් නේවාසිකාගාර සහෝදරයින් සමඟ ගත කළ කාලය ද සරසවි ජීවිතයේ සුවිශේෂතම අවධියක් වූ බව පැවසිය යුතුය. එක් අතකින් එම අත්දැකීම් සමූහය නේවාසිකාගාරයක නොසිටි පුද්ගලයින්ට ලබා ගත නොහැකි වන අත්දැකීම් සමූහයකි. එබැවින් ඒ පිළිබඳව ද මෙහිදී සඳහනක් නොකිරීම අඩුවක් වන බැවින් ඒ පිළිබඳ මතකය ද මෙසේ සිහිපත් කරමි. හොස්ටල් ජීවිතය යනු මුදල් නොගෙවන නවාතැනක හිඳීම පමණක් නොවේ. එය අති සුවිශේෂී මිනිස් බැඳීම් ඇති කරන ස්ථානයකි. එනම් මමය මාගේ හැඟීමෙන් තොරව අපි අපේම නැමති හැඟීමෙන් කටයුතු කිරීම එම අවධියේ මා ලැබූ වැදගත්ම අත්දැකීමයි. එම බැඳීම් ඇති වන්නේ කිසිවෙකුගේ බලපෑමෙන් තොරව වූ නිසා හදවතින්ම එම බැඳීම් තහවුරු විය. හොස්ටල් ජීවිතයේ දී එක බත්පත පවා අපි බෙදාගෙන කෑවෙමු. කුසට මදි වුවත් ඒ මොහොතේ හොස්ටල් එකේ සිටි සෑම අයෙකුගේම කුසගින්න එක බත් කටකින් හෝ සංසිඳුවීමට අපි ක්‍රියා කළෙමු. දුකේදී සැපේදී එකා මෙන් සිටියෙමු. මළ ගෙදරකදී දානේ ගෙදරකදී ඒවා මඟ නොහැර හැකි සෑම උදව්වක්ම අපි කළෙමු. මාගේ කෘතියේ එළිදැක්වීමේ උත්සවය පැවැත්වෙන දිනයේ සියළුම වැඩ කටයුතු ඉටු කළේ මාගේ නේවාසිකාර සහෝදරයින්ය. ඇතැම් දිනවල පාන්දර වන තෙක්ම පොතේ වැඩ කටයුතු මා කරමින් සිටින විට තේ පවා හදා දීමෙන් ඔවුන් මාගේ වැඩේට ඔවුන්ට හැකි සෑම උදව්වක්ම මා වෙනුවෙන් කළේය. පරිපූර්ණ ප්‍රේමයක අත්දැකීම ලැබීම සරසවි දිවියේදී මා අධ්‍යාපනයට අමතරව ලැබූ අනෙක් සුවිශේෂතම අත්දැකීම වන්නේ මාගේ ප්‍රේමවන්තියගෙන් මා ලැබූ පරිපූර්ණ ප්‍රේමයේ අත්දැකීමයි. සන්දීපනී නම් වන ඇය පිළිබඳ මිනිසුන් පමණක් නොව සරසවියේ ගහකොළ පවා දැන සිටි බවට සාක්ෂි නුවුවමනාය. මන්ද යත් ඒ තරමටම එම ප්‍රේමය සරසවි ජීවිතයට බද්ධව තිබූ බැවිනි. ඇය මට හමුවන්නේ සරසවියේ පළමු වසරේ දීමය. එනම් අපේ අධ්‍යයන කණ්ඩායමේ පෙම්වතුන් වූ මුල්ම කිහිපදෙනා අතර මා සහ ඇයද සිටි බව සඳහන් කළ යුතුය. මෙම වසර හතර පුරා ඇය මාගේ සෙවණැල්ල විය. ඇගේ රසවත් ආහාර මෙම සිව්වසර පුරාවට ඇය මා වෙනුවෙන් පිස දුන්නාය. එක නවාතැනක අපි නොසිටියත් අප ගත කළේ අර්ධ පවුල් ජීවිතයක් බව මෙහිදී සඳහන් කිරීම වරදක් නැතැයි මට සිතේ. ඒ අනුව සරසවි පැමිණ ප්‍රේමයක් නොපැවතියා නම් වන අඩුව ඇය නිසා ඕනෑවටත් වඩා සම්පූර්ණ විය. සරසවිය තුළදී මා පූර්ණ මිනිසෙකු බවට පත්වූයේ ඇය නිසා යැයි මම සිතමි. නුදුරේදීම ඇය මාගේ ආදරණීය බිරිඳ බවට පත්වනු ඇත. දෙමව්පියන්ගේ සිහින ඉටුවීමක් තම දියණිය හෝ පුත්‍රයා සරසවි වරම් හිමි කර ගැනීම දෙමව්පියන් දකිනා සිහිනයක් ඉටුවීමක් බව කිව යුතුය. එම බලාපොරොත්තුව මා විසින් මාගේ අම්මාට සහ තාත්තාට සාක්ෂාත් කර දීමට තරම් මම වාසනාවන්තයෙක් වීමි. ළදරු පාසලට මා කැඳවාගෙන යෑමේ සිට සරසවි වරම් දිනා ගන්නා තෙක්ම අම්මාත් තාත්තාත් මා වෙනුවෙන් කළ අප්‍රමාණ කැපකිරීම් සමුදායට මට හැකි උපරිමෙන් සාධාරණයක් ඉටු කිරීමට මට හැකිවූ බව මම විශ්වාස කරමි. සරසවි පැමිණ උපාධියක් ලබා ගැනීමට පමණක් සීමා නොවී කෘතියක් එළිදක්වා එම මොහොතේදී මාගේ මවගේ පියාගේ දෑස් වලට සතුටු කඳුළු කැඳවීමට මම භාග්‍යවන්ත වීමි. සරසවි පැමිණි දින පටන් කිසිදු අඩුපාඩුවක් නොවන්නට මාගේ සෑම වියදමක්ම දැරූ පියාටත් නිතරම මා ගැන සොයා බැලූ අම්මාත් මෙහිදී නංගීත් සිහිපත් කරමි. ඒ අනුව ගතවූ එම අවුරුදු හතර හුදු ජීවිතයේ වැදගත්ම අවුරුදු හතර වූ බව නැවතත් පැවසිය යුතුය. මෙම සිව් වසරෙන් ලද දැනුම, අත්දැකීම් හා ජීවන පන්නරය තුළ වඩාත් හොඳ අනාගතයක් ගත කිරීමට දැන් කටයුතු කරමින් සිටිමි. සරසවි දිවිය නිමා විය. එහෙත් එය නිමා වූයේ එයින් ලැබිය හැකි උපරිම ප්‍රයෝජන නෙළා ගැනීමට මට අවස්ථාව සලසමිනි. එබැවින් සරසවි ජීවිතය තුළ මම පරිපූර්ණ සරසවි ජීවිතයක් ගත කළ බවට මට අවංකව සතුටු විය හැකිය. උපාධියට අමතරව පොතක් එළිදැක්වීම ඇතුළු බොහෝ කාර්යයන් රැසක සාර්ථකත්වය අත්විඳීමට මට හැකිවිය. ඒ පිළිබඳ මම අවංකම සතුටු වෙමි. මෙම ලිපිය අවසන් කිරීමට පෙර සරසවියේ දී ගොඩනැඟුණු මිතුරු මිතුරියන් පිළිබඳව ද වචනයක් හෝ සඳහන් කළ යුතුය. දුක සතුට බෙදා ගනිමින්, ජයග්‍රහණය පරාජය විඳදරා ගනිමින් වසර හතරක් අපි එකට ගත කළ ජීවිතය සුන්දරය. එසේම වාර්ෂිකව චාරිකා වල යෙදීමෙන් කණ්ඩායමක් වශයෙන් අප ජීවිතයට ලැබූ අත්දැකීම් සමූහය ද ඉතා සුවිශේෂීය. සාද වලදී අප එකට සතුටු වූ ආකාරය එකට නැටූ එකට ගැයූ ඒ සුන්දර යුගය දැන් අවසන් වී තිබුණත් වසර හතරක් පුරා අප ගොඩනඟා ගත් සුන්දර බැඳීම් කිසිදා නොවෙනස්ව පවතින බවට විශ්වාසය. එකට දේශන ශාලාවේදී හමුවූ අප එකට ප්‍රවෘත්ති සාකච්ඡා තුළදී හමුවනු ඇත. එනිසා මේ සමුගැනීම තාවකාලික සමුගැනීමක් බව කිව යුතුය. මන්ද යත් මතු දිනක ලෝකයේ කොහේ දී හෝ යළිත් අප හමුවීමට ඉඩ ඇති බැවිනි. එතෙක් අප රැස් කර ගත් සුන්දර මතකයන් අපේ සිත් තුළ දරාගෙන අපට ජීවත් විය හැකිය. ජීවිතය නොනැවතී ඉදිරියට ගලා යයි. ඒ අතර හමුවූ සරසවියට දැන් ආයුබෝවන් කිව යුතුය. ඉතින් ආදරණීය සරසවිය. අවසරයි සමුගන්න. නුඹ හැමදාමත් මගේ හදවතේ ජීවත් වන බව සමුගැනීමට පෙර අවසාන වශයෙන් සඳහන් කළ යුතුය. ....   වැඩිදුර >>  
Next || Previous