ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පුස්තකාල ඇතුළෙම ලොකු මහත් වුණ මගේ ජීවිතය [ යාම් : 28 ] | Iranga.net | 2017-07-10 14:13:16
ඔන්න ඉතින් ගොඩක් දවසකින් හිතුවක්කාර සිතුවිලි වලට මොකුත් ලියන්න බැරි වුණ නිසා අද ඒකට ලිපියක් ලියන්න හිතුණා. මොකද පහුගිය දවස් ටිකේම ඓතිහාසික, සමාජ, දේශපාලන, ශාස්ත්‍රීය, කලා හා සාහිත්‍ය වගේ එක එක වර්ගයෙ ලිපි ලිව්වට හිතුවක්කාර සිතුවිලි වලට මොකුත්ම ලියන්න බැරි වුණානෙ. කොහොමින් කොහොම හරි ඔන්න ඉතින් ඒ මග හැරුණ කාරණාවට අද වෙලාවක් හොයාගන්න පුළුවන් වුණා. වෙලාවක් විතරක් නෙවෙයි. ලියන්න වැදගත් දේකුත් හිතට ආවා. ඉතින් එහෙනම් තවත් කතා කර කර ඉන්නෙ නැතුව මං වැඩේට බහින්නම්. වැඩේට බහින්න කලින් තව දෙයක් කියන්න ඕනි. ඒ තමා මගේ ලිපි කියවන්න අළුතෙන් එකතුවෙලා ඉන්න පාඨකයින්ට මොකක්ද මේ හිතුවක්කාර සිතුවිලි කියන්නෙ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලාම වැඩේට බහින්නම්. මොකද මං ලියන ශාස්ත්‍රීය, සමාජ, දේශපාලන, කලා ඒ වගේම සාහිත්‍ය ලිපි කියවන පාඨකයින් හිතන්න පුළුවන් මොනවද මං මේ හිතුවක්කාර සිතුවිලි කියලා ලියන්නෙ කියලා. ඇත්තම කිව්වොත් අනිත් හැම ලිපි වර්ගයකටම වඩා මං වැඩිපුරම ලියන්න කැමති ලිපි වර්ගයක් තමා මේ හිතුවක්කාර සිතුවිලි කියන්නෙ. ඒ කියන්නෙ බොහොම සැහැල්ලුවෙන් නිදහස් විදිහට හිතුවක්කාර කියන වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම හිතුවක්කාර විදිහට තමයි මං මේ ලිපි ලියන්නෙ. අද මං ලියන්නෙ ඒ වර්ගයෙ හතරවෙනි ලිපිය. එහෙනම් ඉතින් මං දැන් මාතෘකාවට බහින්නම්. අද මට මේ ලිපිය ලියන්න අදහස ඇති වුණ විදිහත් වැඩේ පටන් ගන්න කොටම එහෙනම් කියලම ඉන්නම්කො. ඒක වුණේ මෙහෙමයි. මං මේ දවස් වල රැකියාවට ගිහින් හවසට ආයෙ එද්දි එන්නෙ බෝගම්බර බන්ධනාගාරෙ ඉස්සරහා තියෙන ඩී. එස්. සේනානායක පුස්තකාලෙ ඉස්සරහින්. එහෙම එද්දි පුස්තකාලෙ ඇතුළෙ පාඩම් කරන්න ගිහින් හිටිය ළමයි මං එන වෙලාවට පුස්තකාලෙන් එළියට එනවා. එහෙම එන ළමයි දකිද්දි මටත් මතක් වුණා දැනට අවුරුදු හයකට හතකට විතර කලින් මාත් එහෙම ආවා ගියානෙ කියලා. ඔන්න ඉතින් ඒ ගැන හිතනකොට එහෙම පුස්තකාලත් එක්ක බැඳිච්ච කවදාවත් අමතක කරන්න බැරි විදිහේ ඇයිහොඳැයියක් මටත් තියෙනවනෙ කියලා මට කල්පනා වුණා. ඉතින් අද කාලෙ ළමයි පුස්තකාල වලට යන්නෙ නෑ, පොත් කියවන්නෙ නෑ කියලා චෝදනාවකුත් තියෙන නිසා එහෙම පුස්තකාල වලට යන්නෙ නැති තරුණ ළමයි මේ බ්ලොග් එක්ක පයුරුපාසානම් පවත්වන හින්දා පුස්තකාල ගැන මගේ අත්දැකීම් මේ විදිහට ලියන්න හිතුණා. මට මතක විදිහට පුස්තකාලත් එක්ක මගේ ගනුදෙනුව පටන් ගත්තෙ මං ඉස්කෝලෙ තුන වසරෙ වගේ ඉද්දි. ඒ කියන්නෙ මට අවුරුදු නවයෙදි විතර. ඉස්සෙල්ලාම මං ගියේ අලපලාවල මහජන පුස්තකාලයට. අම්මා තමයි මාව එක්කන් ගියේ. ඒ කියන්නෙ අම්මා තමයි පුස්තකාලත් එක්ක මගෙ ඇතිවුණු ආදර සම්බන්ධයට පාර කැපුවෙ. මට ඒ කාලෙ ඉතින් දැනුම් තේරුම් නැති නිසා ආරච්චි මහත්තයා ළඟට ගිහින් ෆෝම් කොලයක් එහෙම අස්සන් කරන් ඇවිත් අම්මා මට ඒ පුස්තකාලයෙ සාමාජිකත්වය අරගෙන දුන්නා. ඊට පස්සෙ හැම සතියකටම සැරයක් මං අම්මා එක්ක පුස්තකාලෙට යනවා. යන්නෙ අපේ ගෙට පිටිපස්සෙ තියෙන වත්තෙන් පැනලා. එහෙම යද්දි ලොකු තේ වත්තක් මැදින් ගිහින් ඊට පස්සෙ දේවාලයක් ඉස්සරහිනුත් යන්න තියෙනවා. ඒ දේවාලෙ නම් දැන් නෑ මං හිතන්නෙ. ඉස්සර මං පොඩි කාලෙ එහෙම කැලෑ පාරවල් වලින් ගියාට දැන් නම් හොඳට පාරවල් හදලා තියෙනවා ගල් කොරි වල ලොරි වලට යන්න ඕන නිසා. කොහොමින් කොහොම හරි ඒ විදිහට තමයි මං පුස්තකාල වලට යන්න පුරුදු වුණේ. ඒ විදිහට මං තුන වසරෙ ඉද්දි ඒ කියන්නෙ 1997 දි අලපලාවල මහජන පුස්තකාලයට යන්න පටන් ගත්ත ගමන නැවතුණේ මං 2013 දි කැම්පස් එකට ආවට පස්සෙ. හරියටම ගත්තොත් අවුරුදු 16 ක් එක දිගට මං ඒ පුස්තකාලෙ යාවජීව සාමාජිකයෙන් වෙලා හිටියා. ඉස්සෙල්ලාම ලොකු අකුරු තියෙන ළමා කතා කියවන්න පටන් ගත්ත මම අන්තිමට චූටි ඉංග්‍රීසි අකුරු තියෙන පොත් කියවන්න ඉගෙන ගන්නකන්ම පුස්තකාලෙ සාමාජිකයෙක් වෙලා හිටියා. මෙහෙම අලපලාවල පුස්තකාලයට යන අතරෙ පහ වසරෙ ශිෂ්‍යත්වය පාස් වෙලා පේරාදෙණියෙ සරසවි උයන විද්‍යාලෙට ගියාට පස්සේ ඒ ඉස්කෝලෙ පුස්තකාලෙත් එක්ක මං ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඒ ඉස්කෝලෙට යන්න කලින් මං ඉස්සෙල්ලාම ගියෙ පැණිදෙනියෙ කණිෂ්ට ද්විතීයික විදුහලට. ඒ ඉස්කෝලෙ ඒ කාලෙ පුස්තකාලයක් තිබුණ බවක් මට මතක නෑ. ඒත් ඒ කාලෙ ලොකු උත්සවයක් තියලා ඇමති කෙනෙකුත් ගෙන්නලා පුස්තකාලයක් විවෘත කළා වගේ පොඩි මතකයක් නම් තියෙනවා. ඒත් ඉතින් ඒ පුස්තකාලයට යන්න පුළුවන් කමක් ලැබුණෙ නම් නෑ. ඊට පස්සෙ සරසවි උයන ඉස්කෝලෙට ගියාට පස්සෙ මට මතකයි එක දවසක් ඒ ඉස්කෝලෙ පුස්තකාලෙ භාරව හිටපු මැඩම් ඇවිත් අපිට පුස්තකාලෙ පාවිච්චි කරන විදිහ ගැන කියලා දුන්නා. ඊට පස්සෙ මං ඒ පුස්තකාලයටත් ආදරේ කරන්න පටන් ගත්තා. මට මතකයි මං හත වසරෙ වගේ ඉද්දි ඉස්කෝලෙ ඇරිච්ච ගමන් දුවනවා පුස්තකාලෙට. එහෙම ගිහින් ගෙදරදි කියවන්න පොතක් අරගෙන යනවා. ඒ විදිහට ඕ ලෙවල් කරනකන්ම ඒ ඉස්කෝලෙ පුස්තකාලෙත් මගෙ ජීවිතේ කොටසක් වෙලා තිබුණා. කොහොමින් කොහොම හරි මං උසස් පෙළ ලියන්න නුවර විද්‍යාර්ථ ඉස්කෝලෙට යන කාලෙදි තමා මං නුවර ඩී.එස්. සේනානායක පුස්තකාලයට බැඳෙන්නෙ. ඇත්තටම පොත් කියවන්න මගෙ තිබුණ ආශාවත් එක්ක ඒ ලොකු පුස්තකාලය මට දැණුනෙ වෙනම ලෝකයක් විදිහට. ඒ කියන්නෙ පුස්තකාලෙ ඇතුළට යනවත් එක්කම මට දැනෙන්නෙ අමුතුම හැඟීමක්. ඒ හැඟීමට මං ගොඩක් ආශා කළා. ඒ විදිහට පොත් ගන්න විතරක් ඒ පුස්තකාලෙට ගියපු මං නීති විද්‍යාල විභාගයට පාඩම් කරන්න ඒ පුස්තකාලයට යන්න පුරුදු වුණා. ඒ දවස් වල පාඩම් කරන්න පුස්තකාලයට ආපු යාළුවො ගොඩක් හිටියා. මං උදේට ගෙදරින් යන්නෙ හය හමාරට විතර. උදේ අට වෙද්දි පුස්තකාලෙ අරින නිසා පරක්කු වුණොත් ඉඩ නැතිවෙනවා. ඒ නිසා අම්මා බැඳලා දෙන බත් එකත් අරන් උදෙන්ම පුස්තකාලයට යනවා. එහෙම යන්නෙ පාඩම් කරන්න වෙනම හදලා තියෙන තැනට. එක එක්කෙනාට වෙන් කරලා තියෙන ඒ තැන විභාග ළං වෙද්දි ගොඩක් ළමයි එන තැනක් වෙනවා. ඒ නිසා උදෙන්ම නොගියොත් ආයෙ හවස් වෙනකන්ම තැනක් හම්බෙන්නෙ නෑ. ඒ තැනට ගිහින් පාඩම් කරලා දවල් දොළහ විතර වෙද්දි ගෙදරින් ගෙනාපු බත් ඇරගෙන යාළුවොත් එක්ක ජෝන් ද සිල්වා උද්‍යානෙට ගිහින් කනවා. ඊට පස්සෙ ආයෙත් ඇවිත් හවස පහ විතර වෙනකන් පාඩම් කරනවා. පාඩම් කරන්න කම්මැලි හිතෙන වෙලාවට පුස්තකාලයෙ සඟරා අංශයට ගිහින් සඟරාවක් බලනවා. එහෙමත් නැත්තම් පත්තරයක් බලනවා. පාඩම් කරන තැන ඉඩක් ගන්න බැරිම වුණ දවසට පුස්තකාලයෙ විමර්ශන අංශයට ෂෝට් නෝට් අරන් ගිහින් පාඩම් කරනවා. ඒ පුස්තකාලෙ පාඩම් කරන්න ගිහින් හොඳ යාළුවො පිරිසක් හම්බුණා. එයාලා දැන් මොනවා කරනවද කියලා කිසිම තොරතුරක් දන්නෙ නෑ. මොකද ඉතින් ඒ දවස් වල අද වගේ මෙහෙම ලොකුවට ෆෝන් පාවිච්චියක් තිබුණෙ නෑනෙ. ඒත් ඉතින් අහම්බෙන් හරි පුස්තකාලෙට ගොඩවැදුණම ඉස්සර ඒ හිටිය යාළුවෙක් දෙන්නෙක් මුණගැහෙනවා. ඒ අය සමහරු තාමත් එක එක විභාග වලට පාඩම් කරනවා. ඒ විදිහට අපිත් එක්ක ඉස්සර පාඩම් කරපු යාළුවෙක් මං කැම්පස් ගියාට පස්සෙ දවසක නුවර ආවම පුස්තකාලයට ගියාට පස්සෙ මුණගැහුණා. එයා තාමත් අපි ඉස්සර පාඩම් කරපු තැන ඉඳන් පාඩම් කරනවා. ඒ විදිහට අවුරුදු ගාණකට පස්සෙ පරණ යාළුකම් අලුත් වෙන තැනක් විදිහටත් පුස්තකාලය මගෙ ජීවිතයට සමීප වුණා. මෙහෙම ඒ පුස්තකාලෙ පාඩම් කරද්දි හම්බුණ යාළුවෙක්ගෙ මාර්ගයෙන් මං ගැටඹේ අලුතින් හදපු පුස්තකාලයට යන්න පුරුදු වෙනවා. ඒ පුස්තකාලෙත් පාඩම් කරන්න පුළුවන් විදිහේ පහසුකම් තිබුණා. පුස්තකාලයට පිටිපස්සෙන් මහවැලි ගඟ ගලාගෙන යන නිසා බොහොම සුන්දර පරිසරයක තමා ඒ පුස්තකාලෙ තිබුණෙ. ඒ පුස්තකාලයත් මං නිතර ආව ගිය මගෙ ජීවිතේ කොටසක් වෙලා තිබ්බ තැනක්. දෙවෙනි සැරේට මං කලා අංශයෙන් උසස් පෙළ කරලා ඉද්දි  මං එහෙම ගැටඹේ පුස්තකාලෙට යන එන අතරෙදි තමා කැම්පස් යන්ට මාව තේරුණේ. ඉතින් ඊට පස්සෙ කැම්පස් එකේ පුස්තකාලයත් එක්ක මං ආලෙන් බැඳුණා. ඉතින් ඒ ආදරය සිව් වසරක පෙම් ගීතයක් වගේ අවුරුදු හතර පුරාවටම නොබිඳී තිබුණා. ගොඩක් දවස් වලට ලෙක්චර්ස් හවස පහට ඉවර වුණාම හවස හත වෙනකන් මං පුස්තකාලයට වෙලා පොත් කියෙව්වා. මට හොඳටම විශ්වාසයි මගෙ බැජ් එකේ ඒ විදිහට මං තරම් පුස්තකාලයට වෙලා කාලය ගත කරපු වෙන කිසිම කෙනෙක් හිටියෙ නැති බව. ඒ විදිහට කැම්පස් එකේ පුස්තකාලයට තිබ්බ මගේ ආදරේ ප්‍රතිඵලයක් විදිහට කැම්පස් එකෙන් අවුට් වෙන්න කලින් මගෙ නමට පොතක් කැම්පස් එකේ පුස්තකාලෙ ජනමාධ්‍ය පොත් තියෙන රාක්කෙට ඇතුල් වුණා. ඒ තමා මගෙ “සමාජ මාධ්‍ය සංස්කෘතිය” කියන පොත. ඉතින් මේ විදිහට පුස්තකාලත් එක්ක මගෙ තිබුණ සම්බන්ධය බොහොම ලෙන්ගතු සම්බන්ධයක්. ඒක මගෙ ජීවිතයෙන් වෙන් කරලා ගන්න බැරි විදිහේ එකක්. මං උස් මහත් වුණේ මේ පුස්තකාලත් එක්ක. මට ලියන්න ආසාව ඇති වෙන්නෙ මේ පුස්තකාලත් එක්ක. ඒ ආසාව නිසාම මට ලේඛකයෙක්  වෙන්න පාර කියන්නෙත් මේ පුස්තකාල. ඒ වගේම මට මාව දැනෙන්න පටන් ගත්තෙ මේ පුස්තකාලත් එක්ක. ඒ නිසා මං අදටත් මේ හැම පුස්තකාලයකටම ණය ගැතියි. මොකද මට මාව හොයාගන්න පාර කිව්වෙ මේ පුස්තකාල නිසා. කියවපු හැමෝටම ස්තූතියි! ඊළඟ පෝස්ටුවෙන් හම්බෙමු!   ....   වැඩිදුර >>  
Next || Previous