ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ක්‍රීඩා ඇමති නැත්නම් ක්‍රීඩාව ඉවර වෙයිද? [ යාම් : 20 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-06-18 23:17:40
ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම රටක් වශයෙන් මෙන්ම ක්‍රීඩකයෙකුට පෞද්ගලිකවද ලබා ගත හැකි විශාලම ජයග්‍රහණයකි. ලංකාව වෙනුවෙන් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු විසින් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගෙන නැත. එදා මෙදාතුර පැවති ඔලිම්පික් තරඟාවලි වලින් ලංකාවට රිදී පදක්කම් දෙකක් පමණක් හිමි වී තිබේ.ලංකාව වෙනුවෙන් මුලින්ම ඔලිම්පික් පදක්කමක් දිනා ගනු ලැබුවේ එංගලන්ත සම්භවයක් තිබුණු ලාංකිකයෙකු වූ ඩන්කන් වයිට් විසිනි. කළුතර, ලත්පඳුරේදී උපත ලැබූවකු වූ ඩන්කන් වයිට් විසින් 1948 ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේදී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත්තේය. ඉන් පසුව, මහරගම ගුරු විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ දේශකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු පසුව නයිජීරියාවේ සරසවි දෙකකද දේශකයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසුව එංගලන්තයේ පදිංචියට ගොස් මිය යන තුරු එහි ජීවත් වී තිබේ.ලංකාව වෙනුවෙන් දෙවන ඔලිම්පික් පදක්කම හිමි කර දුන්නේ සුසන්තිකා ජයසිංහයි. 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් තරඟයේදී ඇය ලෝකඩ පදක්කමක් දිනාගත්තාය. වසර හතකට පසුව මේ තරඟයේදී ඇයට වඩා ඉදිරියෙන් සිටි මේරියන් ජෝන්ස් විසින් තහනම් උත්තේජක භාවිතා කර ඇති බව තහවුරු වීම නිසා සුසන්තිකාගේ ලෝකඩ පදක්කම රිදී පදක්කමක් විය. මේරියන් ජෝන්ස්ට ඈ විසින් දිනාගෙන තිබුණු ඔලිම්පික් රන් පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් අහිමි වූ අතර ඔලිම්පික් තරඟ වාරණයක්ද පැනවුණු අතර පසුව සයමසක සිර දඬුවමක්ද හිමි විය.සුසන්තිකා ජයසිංහගෙන් පසුව වෙනත් කිසිවකු විසින් ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගෙන නැත.ඔලිම්පික් තරඟ වලදී වැඩිම දස්කම් දක්වා ඇති රට ඇමරිකා එක්සත් ජනපදයයි. ශිශිර ඔලිම්පික් තරඟාවලිද ඇතුළුව, ඇමරිකාව විසින් ලබාගෙන ඇති ඔලිම්පික් පදක්කම් ගණන 2,800 ඉක්මවන අතර එය මුළු පදක්කම් ගණනින් හයෙන් එකක් පමණ වේ. සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර එරට ඇමරිකාවට හොඳ තරඟයක් දුන්නේය. එහෙත් ඔලිම්පික් තරඟාවලි වැඩි ගණනකදී වැඩිම පදක්කම් හිමි කරගෙන ඇත්තේ ඇමරිකාවයි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඇමරිකාව දෙවැනි තැනට වැටුනේ බෙයිජිං තරඟාවලියේදී පමණි.ඇමරිකා එක්සත් ජනපදය ලංකාව මෙන් 16 ගුණයක ජනගහනයක් සිටින රටකි. ඒ නිසා, ඇමරිකාව ලංකාවට වඩා ඔලිම්පික් පදක්කම් ගැනීම තේරුම් ගත හැකිය. එහෙත්, ඇමරිකාව ඔලිම්පික් තරඟයකදී සාමාන්‍යයෙන් පදක්කම් 100ක් පමණ දිනාගනිද්දී ලංකාවට කලාතුරකින් හැර එක් පදක්කමක් හෝ දිනාගන්නට නොහැකි වීම විමසිය යුතු කරුණකි.වැඩිපුර ඔලිම්පික් පදක්කම් ගැනීම සඳහා ලංකාව කළ යුත්තේ කුමක්ද? ක්‍රීඩා ඇමති මාරු කළ යුතුද? ක්‍රීඩා ඇමතිව දිරිගැන්වීම සඳහා ඔහුට තවත් වාහන කිහිපයක් ලබා දිය යුතුද? ක්‍රීඩා අමාත්‍යංශයට වෙන්කරන ප්‍රතිපාදන වැඩි කර තවත් නිලධාරීන් බඳවා ගත යුතුද? එසේ නැත්නම්, ඔලිම්පික් තරඟ වලදී ඉදිරියෙන්ම සිටින ඇමරිකාව වැනි රටක් කරන දේ අනුගමනය කළ යුතුද?ඇමරිකන් රජය ක්‍රීඩාව දිරිගැන්වීම සඳහා කොපමණ මුදලක් හා නිලධාරීන් පිරිසක් වෙන් කරනවාද?සතයක්වත් නැත. ඇමරිකාවේ ක්‍රීඩා ඇමතිලා හෝ ලේකම්ලා නැත. ක්‍රීඩා අමාත්‍යංශයක් හෝ දෙපාර්තමේන්තුවක්ද නැත. රජයේ වෙනත් ආයතනයක් යටතේ ඒ කටයුතු සිදුවන්නේද නැත. අඩු වශයෙන් ඇමරිකන් රජය විසින් ඇමරිකන් ක්‍රීඩකයින් විසින් උපයන ත්‍යාග මුදල්ද ඇතුළු ආදායමෙන් රටේ අනෙක් අයගෙන් අය කරන බදු මුදල අය නොකර සිටින්නේ හෝ නැත.ඇමරිකාවේ ඔලිම්පික් ක්‍රීඩකයින් පුහුණු කරන හා ඔවුන්ට ත්‍යාග මුදල් ඇතුළු මූල්‍යමය ආධාර සපයන "ටීම් යූඑස්ඒ" යනු ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයකි. ඇමරිකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ලෙස ක්‍රියා කරන්නේද  රජයට සම්බන්ධයක් නැති මෙම ආයතනයයි. හමුදා සාමාජිකයින් වෙනුවෙන් කරන ඇතැම් කටයුතු වෙනුවෙන් ලබාගන්නා මුදල් හැර එම සංවිධානයට රජයෙන් කිසිදු මුදලක් නොලැබේ. එහෙත්, පසුගිය වසරේදී පමණක් ඩොලර් මිලියන 212.9ක් එම සංවිධානය විසින් ක්‍රීඩාව වෙනුවෙන් වැය කර තිබේ. මේ වියදම් වලට ක්‍රීඩකයින්ගේ සරසවි අධ්‍යාපන වියදම් පියවීම වැනි සුබසාධන කටයුතු සඳහා වන වියදම්ද ඇතුළත්ය."ටීම් යූඑස්ඒ" යනු ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයක් වුවත්, එයින් අදහස් වන්නේ ඔවුන් පාඩු ලබන බව නොවේ. තමන් සතු විකාශන අයිතිය ඇතුළු අයිතීන් විකිණීමෙන් එම ආයතනය විසින් වසර තුළ ඩොලර් මිලියන 293.9ක ආදායමක් උපයා ඇති අතර මහජන ආධාර හා වත්කම් ආයෝජන ආදායම් ආදියද ඇතුළුව ඩොලර් මිලියන 350.6ක සමස්ත ආදායමක් ලබා තිබේ. පරිපාලන වියදම් ආදිය ඇතුළු සියලු වියදම් ඉවත් කිරීමෙන් පසුව ඩොලර් මිලියන 77.9ක ලාභයක් එම ආයතනයේ ප්‍රාග්ධන වත්කම් වලට වසර තුළදී එකතු වී තිබේ.ක්‍රීඩාව යනු පහසුවෙන් වැය කරන මුදලට වඩා ආදායම් ඉපයිය හැකි ක්ෂේත්‍රයකි. ඒ නිසා, රටක් ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගෙනයාම සඳහා මහජන මුදල් වැය කිරීම හෝ රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යම කරුණක් නොවේ.ඩන්කන් වයිට්ගේ කාලයේදී නොතිබුණත්, සෑහෙන කලක සිට ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයක් තිබෙන අතර මහජන මුදලින් ක්‍රීඩා ඇමතිවරයෙකු හා විශාල නිලධාරීන් පිරිසක් නඩත්තු කෙරේ. ක්‍රීඩා අමාත්‍යංශයේ වියදම් වෙනුවෙන් 2017 වසර සඳහා රුපියල් මිලියන 4,484ක් වෙන් කර ඇති අතර දළ වශයෙන් ලංකාවේ එක් පවුලක් ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා පමණක් රුපියල් 900ක් පමණ මේ වසරේදී වැය කිරීමට නියමිතය. මෙය හාල් කිලෝ දහයක්, මස් හෝ මාළු කිලෝවක්, කිරිපිටි කිලෝවක පැකැට්ටුවක්, අලුත් කමිසයක්, චීන අවන්හලකින් කෑම වේලක් නැත්නම් අරක්කු බෝතලයක් වැනි දෙයක් වෙනුවෙන් වැය කළ හැකි මුදලකි.ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා පමණක් ලංකාවේ පවුලකට තමන්ට මිලදී ගත හැකිව තිබුණු හාල් කිලෝ දහය, මස් හෝ මාළු කිලෝව, කිරිපිටි කිලෝවක පැකැට්ටුව, අලුත් කමිසය, චීන කෑම වේල නැත්නම් අරක්කු බෝතලය කැප කරන්නට සිදුවන අතර ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන්නේ මොනවාද යන්න විමසා බැලිය යුතු දෙයකි.පසුගිය වසර හැට නවයක කාලය තුළ ලබාගත් එකම ඔලිම්පික් පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහ විසින්ද කිහිප වරක් කර ඇති චෝදනාවක් වන්නේ රජය ඇය වෙනුවෙන් ප්‍රමාණවත් දෙයක් කර නැති බවයි. ඇතැම් විට ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් රජය විසින් කිසිවක් නොකළද මේ කාලය තුළ අහඹු ලෙස එක් ඔලිම්පික් පදක්කමක් ලංකාවට හිමි වන්නට ඉඩ තිබුණු බව අපට බැහැර කළ නොහැකිය.සුසන්තිකා විසින් රජයෙන් දිගින් දිගටම වරප්‍රසාද ඉල්ලීම අනුමත කළ නොහැකි වුවත්, ඇගේ ඉල්ලීමේ පදනමක් නැතුවාම නොවේ. ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා ලංකාවේ වෙනත් පවුල් මෙන්ම ඇයද දායක වී තිබේ. මේ පවුල් වලින් වැඩි දෙනෙකුට තමන් වැය කළ මුදල වෙනුවෙන් ප්‍රතිලාභයක් නොලැබෙන හා ලබාගන්නට ඉඩක් නැති පසුබිමක අඩු වශයෙන් ඒ වෙනුවෙන් හෙට්ටු කිරීමේ හැකියාවක් ඇති සුසන්තිකා විසින් හෝ එය කිරීම පෞද්ගලිකව කෙසේවෙතත් රටේ රජයෙන් බැහැරව සිටින පුද්ගලයින්ගේ නියෝජිතයෙකු ලෙස සැලකූ විට තමන්ට අයිති දෙයක් ඉල්ලා සිටීමකි.ක්‍රීඩාව වෙනුවෙන් කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොකරන හා පොදු අරමුදල් වැය නොකරන ඇමරිකාව ක්‍රීඩාව අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටවීම අහම්බයක් නොවේ. රාජ්‍ය මැදිහත්වීම් නිසා හැමවිටම පාහේ ප්‍රායෝගිකව සිදුවන්නේ වඩාත්ම සුදුස්සාට තැන නොලැබී යාමයි. රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයේ කොටසක් වන මෙය ක්‍රීඩා ඇමති මාරු කිරීමෙන් හෝ ක්‍රීඩා අමාත්‍යංශයට වැඩිපුර ප්‍රතිපාදන ලබා දීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ.රාජ්‍ය මැදිහත්වීම් අවම වන තරමට දක්ෂයින්ට ඉහළට පැමිණීමට ඇති අවකාශ පුළුල් වනු ඇති අතර ක්‍රීඩාවට ලැදි අයට එවැන්නන්ට සෘජුවම උදවු කිරීමටද අවකාශ සැලසෙනු ඇත. ඒ සඳහා අතරමැදියෙකු ලෙස රජය යොදාගත් විට අවසාන වශයෙන් සිදුවන්නේ කොහේවත් ඉන්නා පිරිසක් නඩත්තු කිරීමේ බර මහජනයාට දරන්නට සිදුවීම පමණි.මෙය ලංකාවේ දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිලිබඳ එක් උදාහරණයක් පමණි. රජය මගින් කරන වෙනත් බොහෝ කටයුතු වල තත්ත්වයේද වැඩි වෙනසක් නැත. (Image: ....   වැඩිදුර >>  
Next || Previous