ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
සෝවියට් රහස් පොලීසියේ වසවිෂ විද්‍යාගාර [ යාම් : 23 ] | අරුණි ශපීරෝ‍ වෙතින් | 2017-05-19 06:08:04
තම ආරක්ෂාව සඳහා චෙකා බලකාය වැඩිකරගත් බොල්ෂෙවික්ස්, පෙට්‍රොගෑඩයෙන් ඉවත් වී මොස්කව් සිය පාලනයේ අගනගරය කරගත්හ. ජනතාවට පාන් නොලැබිණ. ගම්වැසියන්ට ඉඩම් නොලැබිණ. ඊ ළඟ වසර පහ තුල ගෙන ගිය සිවිල් යුද්ධය නිසා රටේ සාමයක් ද නොපැවතිණ. 1918 මාර්තුවේ දී ලෙනින් විසින් බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් ගිවිසුමෙන් ජර්මනියට බාල්ටික් පළාත්, නැගෙනහිර පෝලන්තය, සහ යුක්රේනය පවරා දී තිබිණ. ගිවිසුම කඩාකප්පල් කරනු සඳහා ජර්මන් තානාපති කවුන්ට් වොන් මර්බාහ්ක් ඝාතනය වුවද, ජර්මනිය ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. පැතිර යන බොල්ෂෙවික්ස් භීෂණ පාලනය නොරිස්සු අය දේශපාලන වශයෙන් ලෙනින් වෙනුවට වෙනත් නායකයෙක් සෙවූහ. පැරණි රාජාණ්ඩුක්‍රමය යළි ගෙන්වා ගත හැකි යැයි සටන් වැදීමෙන් බලාපොරොත්තු සුන් වූවන් තවමත් තැන තැන විසිරි පැවති ‘සුදු’ හමුදා කාණ්ඩ යටතේ එකතු වී සිටියහ. ලෙනින්ගේ පාලනයට එරෙහිව අවිගත් පළමු කල්ලිය වූයේ දකුණු රුසියාවේ කොසැක්ස් අයයි. හමුදා දැනුම අතින් ඉහළ වූවත් ඔවුන්ගේ දේශපාලන අභිප්‍රාය පටු වූවකි. යුදෙව්වන් ඝාතනය කළ ඔවුනට උවමනා වූයේ ඔවුන්ගේ දේපොල ආරක්ෂා කිරීම පමණි. බොල්ෂෙවික්ස් විරෝධීන් සහ කොසැක්ස් අයව එක අභිමතාර්ථයක් යටතේ පෙළගස්වන්නට විවිධ හමුදා ජනරාල්වරුන් ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක විය. ඩොන් කොසැක්ස් සංහාරය සෝවියට් දේශයේ ජනවාර්ගික සමූල ඝාතනයන්හි පටන් ගැනීමයි. 1919 දී කොසැක්ස්හරණය බොල්ෂෙවික්ස් ප්‍රතිපත්තියක් විය. ලෙනින්ගේ අණ මත ලක්ෂ හතක සිට මිලියනයක් පමණ වූ ඩොන් කොසැක්ස් ජනතාවක් ඝාතනය විය. රිචඩ් පයිප්ස් ලියූ නොහඳුනන ලෙනින් -The Unknown Lenin පොතේ එම සිද්ධීන් වාර්තා වේ. බොල්ෂෙවික් පක්ෂයේ සිටි “නොමේරූ අයගේ අධිඋද්‍යෝගය” නිසා සිද්ධ වූවක් යැයි ලෙනින් ඊට වරදකරුවෙක් වීමෙන් ගැලවෙන්නට උත්සාහ කළ ද, මධ්‍යම ආණ්ඩුව එම ක්‍රියාදාම සියල්ල අනුමත කරන ලද බවට සාක්ෂි පවතී. 1918 ගිම්හානයේ දී චෙක් සිරකරුවන් වෙතින් හැදුන විශාල යුද හමුදාවක් මධ්‍යම බලවතුන් හා සටන් වදින්නට යැව්වේ සයිබීරියාව හරහා පැසිෆික් සාගරයට යන දුම්රිය මාර්ගයෙනි. එහි දී නැව් මගින් ඔවුන්ව ප්‍රංශයට පිටත් කරන්නට සැලසුම් කර තිබිණ. සිරකරුවන් වූ මේ චෙක් කණ්ඩායම් දේශපාලන වශයෙන් බොල්ෂෙවික්ස් හිතවාදීන් වූහ. විදේශ කටයුතු කොමිස්සාර් හැටියට පත්ව සිටි ට්‍රොට්ස්කි ඔවුන් ගමන් කළ දුම්රිය නැවැත්වීය. “ශ්‍රම හමුදා” වලට ඇතුලත් කිරීම සඳහා රතු හමුදාවට එකතු වෙන්න යැයි ඔහු ඔවුනට නියම කළේය. එනම්, බොල්ෂෙවික්ස් හමුදාවේ අනිවාර්ය සේවයේ යෙදෙන ශ්‍රම බලකාය වෙන්නට කියායි. එයට අකමැති වූ අයව දේශපාලන සිරකඳවුරු වෙත යවන බව ට්‍රොට්ස්කි කියා සිටියේය. ‘සුදු’ හමුදා ප්‍රතිවාදීන් පරදවන රතු හමුදාව අනතුරුව යුරෝපය අල්ලා ගෙන ඉන්පසු ඇමෙරිකාවට ද පහර දෙනවා යැයි ට්‍රොට්ස්කි කියා සිටි විදේශ ප්‍රතිපත්තියයි. නමුත් සිද්ධ වූයේ අනපේක්ෂිත වූවකි. ඒ චෙක් සිරකරුවන් වහල් ශ්‍රමිකයන් වෙන්නට විරෝධය පාමින් දුම්රිය මාර්ග පද්ධතියේ බොහෝ කොටස් අල්ලා ගත්හ. ඒ අස්සේ සෙසු බොල්ෂෙවික්ස් විරෝධීන් බලය අල්ලාගන්නට යළිත් කැරලි ගැසූහ. ඒ අස්සේ රුසියාවේ පැසිෆික් වෙරළ අල්ලාගෙන කඳවුරු බඳින්නට ජපන් හමුදාවක් සමත් වූහ. “එකට එක කරන්නෙ නැතිව හමුදාවක් හදන්නට බැහැ. මරණ දඬුවම හමුදාවේ අවි ගබඩාවේ එකක් විදියට නැත්නම් මහා ජනතාවක් ඔවුන්ගේ මරණය කරා දක්කන්න බැහැ. ඉතින් ඒ නැට්ට නැති දුෂ්ට වඳුරන් ඔවුන්ගේ තාක්ෂණික දස්කම් ගැන ආඩම්බරයෙන් සිටින තාක් කල්, මිනිසුන් යැයි අපි කියනා සත්තු හමුදා හදමින් සටන් කැඳවන තාක් කල්, සිද්ධ වෙන මරණය හමුවට ඉදිරියෙන් ද, සිද්ධ විය හැකි මරණය සඳහා පසුපසින් ද සොල්දාදුවන් තබන්නට යැයි අපි අණ දෙමු.” -ලියොන් ට්‍රොට්ස්කි, මගේ ජීවිතය 1922 අග වෙද්දී ව්ලැඩිවොස්ටොක් වෙතින් ජපනුන් ඉවත් වූහ. රතු හමුදාව එහි පාලනය අල්ලා ගත්හ. බලය අල්ලා ගන්නට පමණක් නොව, දක්කාගෙන යන්නට දැක්මක් ද අවශ්‍ය නිසා, භීෂණය පැතිර තිබූ මේ සිවිල් යුද්ධ මැද්දේ ට්‍රොට්ස්කි විසින් ත්‍රස්තවාදයට පාක්ෂිකව The Defense of Terrorism පොත ලිවීය. රුසියන් විප්ලවය හා ප්‍රංශ විප්ලවය ලෙනින් විසින් සසඳන ලද අවස්ථා බොහෝ විය. පැරීසියේ ගිලටිනයෙන් පටන් ගත් පංති සටන ලෝකය පුරා පතුරවන අරගලයේ දෙවන පියවර රුසියානුවන් පටන් ගෙන ඇතැයි ඔහු කීය. ප්‍රංශ ධනවාදීන්ට එරෙහිව පාරට බහින්න යැයි හේ ප්‍රංශයේ කොමියුනිස්ට් පක්ෂයට කියා සිටියේය. ඒත් 1920 ගණන් ප්‍රංශය “පිස්සු කෙළින” ලද සමයයි. ජලවිදුලිබලාගාර පිහිටුවීමත් සමඟ කම්හල් වැය අඩුවීමෙන් ප්‍රංශයේ කාර්මික අංශයේ කොම්පැණි ලාබ සොයන්නට සමත් වූ කාලයයි. රේඩියෝව, මෝටර් රථය වැනි නව නිෂ්පාදන නිසා ප්‍රංශයේ ආර්ථික වර්ධනය නැඟී ගිය කාලයයි. ප්‍රංශ ජනතාව විප්ලව කරන්නට පාරට බැස්සේ නැත. කම්හල් අයිතිකරුවන් ආර්ථිකය ගොඩනඟද්දී රටවැසියන් කලා නිර්මාණ අගය කළහ. ඇමෙරිකාවෙන් ගිය ජෑස් සංගීතය පැරිසිය කුල්මත් කරවීය. එවක ඇමෙරිකාවේ මත්පැන් ඇතුළු තහනම් රැසක් පැවති නිසා පැරිසීයේ පදිංචියට ගිය ඇමෙරිකන් කලාකරුවන් හා වැසියන් මහත් රැසක් වූහ. ඒ අර්නස්ට් හෙමින්ග්වේ, එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරාල්ඩ් වැනි ඇමෙරිකන් රචකයන්ට කන්න සල්ලි හිඟ යැයි රඟපාමින් බොන්න සල්ලි තිබූ සමයයි! ලෑන්ග්සටන් හියුස් වැනි ලෙනින් ගැන කවි ලියූ ගද්‍යකරුවන් සහ ජෝන් ස්ටයින්බෙක් වැනි නවකතාකරුවන් රුසියාව දිහා නොබලා සමාජවාදය තවත් උත්කර්ශවත් කරමින් ප්‍රබන්ධ ලියූ සමයයි. එසේම එය ලෙනින් විසින් රුසියාවේ ජලවිදුලිබලාගාර පිහිටුවන්නට ඇමෙරිකන් ඉංජිනේරුවන් යොදවා ගත් කාලයයි. නමුත්, පෞද්ගලික දේපල අයිතියට ඉඩ ලැබී තිබූ ප්‍රංශයේ මෙන් ආර්ථික නැඟීමක් පොදු දේපල අයිතියෙන් යුතු වූ කොමියුනිස්ට් රුසියාවේ සිද්ධ නොවිණ. ප්‍රංශය ඔම්ලට් හැදෙන ක්‍රමයට යාන්තම් ඉඩ දී තිබිණ. ඒත් සෝවියට් දේශය සිවිල් යුද්ධයෙන් අනතුරුව ගියේ ජෝසෆ් ස්ටාලින්ගේ ‘ශුද්ධ කිරීම්’ පවත්වන කාල වකවාණුවටයි. සමාජවාදය උත්කර්ශවත් කරමින් සහ ලෙනින් ගැන කවි පද ලියූ බටහිර කලාකරුවන් අතින් රුසියන් ජනතාව අත්විඳි හිංසනය ගැන කිසිවක් ලියැවුනේ නැත. ඒ සැබෑ සමාජවාදය නෙමෙයි කියූහ. එසේම 1921 දී සෝවියට් රහස් පොලීසිය වසවිෂ නිපදවන විද්‍යාගාර මහාචාර්ය ඉග්නාටී කසකොව් යටතේ පිහිටුවද්දී ද ලෝක සමාජවාදීන් නිහඬව සිටියහ. ගුලාග් හෙවත් දේශපාලන සිරකඳවුරුවල සිටි සිරකරුවන්ව මේ මාරාන්තික වසවිෂ අත්හදා බැලීම් වලට ලක් කරද්දී ඔවුන් නිහඬව සිටියහ. මේ විද්‍යාගාරයකින් නිපැදවූවකින් මැක්සිම් ගෝර්කි සහ ඔහුගේ පුත්‍රයාට විෂ පොවන ලදැයි Genrikh Yagoda 1938 දී පිළිගත්තේය. ඒත් සෝවියට් ආණ්ඩුව ඔහු දේශපාලන බලඅරගලයේ අහිංසක ඉත්තෙක් පමණක් යැයි කියා ඔහුට දඬුවම් නොකළහ. 1921 පටන් 2017 මැයි 1 වැනිදා මුහුණට ඇසිඩ් වැදුණ ඇලෙක්සෙයි නැවල්නි දක්වා වසවිෂ වලින් බැට කෑ සෝවියට් සහ රුසියන් ආණ්ඩුවට විරුද්ධ වූ ජන නායකයන් කොතරම් සංඛ්‍යාවක් ගැන ඔබ අසා ඇත්ද?!!!! කොමියුනිස්ට්වාදයේ කළු පොත ඇසුරිනි. ....   වැඩිදුර >>  
Next || Previous