ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අර්බූදයක් ගැන කතා කළ හැකියාව ඇත්තේ කාට ද? [ යාම් : 5 ] | අරුණි ශපීරෝ‍ වෙතින් | 2017-04-20 08:15:45
ඒ ඒ අර්බූදයන් ගැන කතා කළ යුත්තේ ඒ ඒ ක්ෂේත්‍රයේ දැනුමැතියන් පමණක් ද? තමන් දැනුමැතියෙක් යැයි කියන්නේ පිළිගත් අධ්‍යාපනික ආයතනයකින් අර්බූදයට අදාල ක්ෂේත්‍රය සඳහා සහතිකයක් ලබාගෙන ඇත්නම් පමණක් ද? දිවයින පත්‍රයේ විද්වත් හමුවට සහභාගී වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ කලකට පෙර මෙසේ කියන ලදි: “අපේ රටේ පාරිසරික අර්බූද ගැන අද වැඩිපුරම කතා කරන්නෙ සාමාන්‍ය ජනතාව සහ නොයෙක් සංවිධාන. මේවා පිළිබඳ දැනුමක් තියෙන විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන් වැඩිදෙනා නිහඬව ඉන්නවා. ඇයි එහෙම වෙලා තියෙන්නෙ?” ඊට හේතු හැටියට යුද්ධය අවසන්වීමෙන් පසු නිදහස හරිහැටි කළමනාකරණයට නොහැකි වීම, රටේ ජනතාවෙන් විද්‍යාව ඉගෙන ගත් පිරිස 20% ක් වීමෙන් විද්‍යාව සහ තාක්ෂණය දියුණුවක් නැතිකම, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලබාගන්නා තොරතුරු කළමනාකරණ කර ගැනීමට නොදන්නාකම, යනාදිය ඔහු විසින් පෙන්වා දී ඇත. මහාචාර්ය සුදන්ත ලියනගේ අහන ඇයි මේ විද්‍යාඥයන්, ඉංජිනේරුවන් හා තාක්ෂණවේදීන් වැඩිදෙනා නිහඬව ඉන්නේ යන්නට තවත් උත්තරයක් මම දකිමි. එය නම් බලඅධිකාරියට එරෙහි වෙනත් මතයක් මහජනතාවට කියන්නට ගියොත් ඒ අය කොන් වී, හාස්‍යයට ලක් වී, ඒ පුද්ගලයාගේ ජීවිකාවට ද බාධක වැටීමයි. එය මහාචාර්යවරයාට අමතක වුනේ කෙසේදැයි මට හිතාගත නොහැකියි. බලයේ ඉන්නේ කොයි ආණ්ඩුව ද යන්න මෙසේ අයෙක් ගොදුරුවීමට හේතුවන සාධකයක් නොවේ. රජය මගින් සමාජ සැලසුම් සියල්ලක්ම සිද්ධ විය යුතු යැයි තරයේ පෙනී සිටින නා නා තරාතිරම් හා තනතුරුවල සිටින සියල්ලන්ම එකා මෙන් මෙවැන්නෙකුට විරෝධය පාන්නට හා හාස්‍යයට ලක්කරන්නට පෙළ ගැහෙති. ඔවුන් සියල්ලන්ම අමතක කරන ඉතා වැදගත්ම කාරණය, මිනිසා මුහුණ දුන් බොහෝ අර්බූදයන්ට පිළියම් ගෙනෙන ලද්දේ දැනුමැත්තන් පිරිසක් මූලික වූ බලඅධිකාරියක් නොවන බවයි. ලෝකයේ තාක්ෂණය ඉපදුනේ කෙසේදැයි විමසා බලන්නෙකුට එයට ප්‍රස්ථාව ලැබුනේ සහ අළුත් තාක්ෂණික නිර්මාණයන් නිතිපතා බිහිවෙන්නේ කෙසේදැයි වටහා ගැනීමට ඉතා පහසුයි. නැව් මාර්ග දියුණු කළ කොරනේලියස් වැන්ඩබිල්ට්, දුම්රිය මාර්ග තැනූ ජේම්ස් ජේ. හිල් යනාදීන් දිහා බලද්දී ඕනෑම අයෙකුට ඕනෑම අංශයක දැනුමැතියෙක් වීමට නම් ඊට ඉඩකඩක් දෙන ආර්ථික ක්‍රමයක් පැවතිය යුතු බව ද අවබෝධ වෙනු ඇත. මෑත කාලීන ස්ටීව් ජොබ්ස් ගේ ස්වෝත්සාහයන් නිසා ලොව පුරා තාක්ෂණය දියුණු වූයේ ඔහු පිළිගත් අධ්‍යාපනික ආයතන වලින් ලබාගත් සහතික ඉදිරිපත් කළ නිසා නොව වැඩ කරන තාක්ෂණය ලොවට පිරිනැමූ නිසයි. එවැනි ආර්ථික ක්‍රමයක් හාස්‍යයට ලක් කරමින් රටේ අර්බූද විසඳන්නට හැකියාව ඇතැයි කියන අයගේ පරමාර්ථය කුමක්දැයි විමසිය යුතුයි. ජනතාව වෙනුවෙන් ඔවුන් සත්‍යයෙන්ම පෙනී සිටිනවාදැයි විමසීම අවශ්‍යයයි. අධ්‍යාපන ආයතනයකින් පමණක් දැනුම ලැබෙන්නේ යැයි පිළිගැනීම වැඩවසම් යුගයට යාමකි. කාර්මික විප්ලවයෙන් පසු ලොව දියුණුවට පා තබන්නේ වැඩ කරන තාක්ෂණය කවුරු ඉදිරිපත් කළත් එය භාවිතයට ගැනීමෙන් ඵලදායීත්වය වැඩි කරගත හැකි අවබෝධ වූ මිනිස්සු ඒවා පරිභෝජනයට ගැනීම නිසයි. එවිට, ඇමෙරිකාවේ ටයිලර් විල්සන් විසින් වයස 18 දී nuclear fusion reactor නිපැදවූ ලොව ළාබාලතමයා වීමට වැනි ඉඩකඩ පෑදේ. තමනට කිසිත් දැනුමක් නොමැති වූ ක්ෂේත්‍රයකින් ජීවිත රකින උපකරණයක් ලොවට බිහිකළ රොබට් ගෝල්ඩ්මන් වැනි අය බිහි වේ. ලංකාව තුල යම් අර්බූදයක් විසඳන අලුත් ක්‍රමයක් සොයාගත් අයෙකුට එය වෙළඳපොලට ගෙන යන්නට බාධා කොතරම් ඇත්දැයි සොයා බලන්නට සෑම පුරවැසියෙක්ම උත්සාහයක් ගත යුතුයි. නැතිනම් වැඩිකලක් නොගිහින් පාරිභෝගිකයන්ට සිද්ධ වෙන්නේ බඩු නැතැයි හා තියෙන බඩු ගන්නට මුදල් නැතැයි කියමින් පෙළපාලි යන්නටයි. මේ අද වෙනිසියුලාවේ දකින පෙළපාලි. “විද්වත්ඥානය නොහොත් intelligence යනු හැකියාවෙන් පිටත වූ යමක් ඉක්මණින් තේරුම් ගැනීමට සහ ඒ තේරුම් ගැනීම අනුව බුද්ධිමත්ව ක්‍රියාකාරී වීමට පුළුවන්කමක් තිබීමය,” ලෙසින් කියා ඇත්තේ ඇල්ෆ්‍රඩ් නෝර්ත් වයිට්හෙඩ් විසිනි. අද පවතිනවාට වඩා දියුණුවක් කරා හෙට යන්නට අවශ්‍ය නම් ගුරුවරයන් කියා දෙන දේ ලියා විභාග පාස් කර දැනුම ලැබුවා යැයි සහතික ලබාගැනීමෙන් නොහැකියි. මහජනතාවකට තම උන්නතිය සඳහා උපකාර කරගත හැකියාව ලැබෙන්නේ මොන තොරතුරු වලින් පමණක්දැයි තෝරා බේරා කියන්නට ජගතෙක් කිසිම රටක නැත. අපි දැනට දන්නේ අළුත් අදහස් සහ නව තාක්ෂණය බිහිවෙන්නේ නිදහස් ලෙසින් තොරතුරු පවතින වාතාවරණයක බව පමණකි. නිදහස් ලෙසින් තොරතුරු පවතින වාතාවරණයක් සෑදෙන්නේ නොමිලේ බෙදනවා යැයි කියමින් සියල්ලන්ගේම බදු බර වැඩි කරමින් බලය සතු පිරිසක් විසින් තෝරාගන්න තවත් සුළු පිරිසකට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පාදා දීමෙන් නොවේ. අර්බූදයකට පෙනී සිටින පුද්ගලයාට විසඳුමක් ගෙනෙන්නට හැකි යමෙක් ඉන්නවා ද, එවැන්නාට ඉඩක් ලබා දීමෙනි. එනම් අළුත් අදහස් සහ නව තාක්ෂණය ඉල්ලන අයට ඒවා සපයන්නට හැකි අයට ඇති බාධක අයින් කිරීමෙනි. නමුත් ඒ විසඳුමට පක්ෂපාතී වෙන්නට බොහෝ අය අකමැති වෙති. මන්ද, අර්බූදයක් ඉදිරියේ විසඳුමක් ගෙනෙන අයෙකුට තාවකාලික ධන උල්පතක් පෑදෙන නිසයි. අර්බූදය විසඳී යෑමත්, එසේම තවත් අනේක පිරිසක් එම කර්මාන්තයට ප්‍රවේශය ලබන බවත්, වැඩි කල් නොගිහින් ඒකාධිකාරය නැතිවී යන බවත් නොසලකා හරිති. ඒ වෙනුවට මෙතෙක් කාලයක් සෑම වෑයමක්ම අසාර්ථක වූවත්, අර්බූදයට පිළියම් හොයන බලය බලඅධිකාරියටම පවරති. වැරදි තොරතුරු, අසත්‍ය ප්‍රවෘත්ති, හානිකර ක්‍රමවේද රජයක් ගෙනෙන තහනම් මගින් ලොවෙන් තුරන් කරන්නට හැකි වූ දේශයක් ලොව කිසිම තැනක නැත. ඉතින් ඒ නිසා අප කළ යුත්තේ ඕනෑම මාතෘකාවක් ගැන ඕනෑම අයෙකුට අදහස් දක්වන්නට ඉඩක් ලබා දී තමනට වැදගත් වූ ද, තම ජීවිතයට ඵලදායක ලෙසින් උපකාර වන්නා වූ ද තොරතුරු මොනවා දැයි අසත්‍යයෙන් සත්‍යය තෝරා බේරා ගැනීමට තරම් හැකියාවක් ඇති දැනුම මට්ටමකට ජනතාව ගෙන ආ යුතු නොවේ ද? එසේම තමන්ට හා පරිසරයට හානිකර භාණ්ඩ මොනවාදැයි තෝරාගන්නට ජනතාව ඉඩ දීම නොවේ ද? ....   වැඩිදුර >>  
Next || Previous