ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
39. ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 (පළමුවැනි කොටස) [ යාම් : 21 ] | සිහි සටහන් | 2017-03-19 08:07:44
වත්පොතින් දුරස්ව වී සිටිමි. අනුකම්පා විරහිතව මරා දමන ලද වත්පොත් ගිණුම නැවත ප්‍රත්‍යුත්ථානය කිරීමේද අදහසක් දැනට නැත. එබැවින් ලියන්ට ඇති යම් යම් දේ මෙතැනට නැවත එකතු කරන්ට කල්පනා කළෙමි. මා ඉහත ලියූ පෝස්ට තව දුරටත් තබා ගත යුතුද නැද්ද තීරණය කරන්ට ඊයේ යම් කාලයක් වැය කළෙමි. අවසානයට තීරණය කළේ පෞද්ගලික කාරණාවක් මත එකම එක පෝස්ට් එකක් ඉවත් කරනවා හැරෙන්ට වෙනත් වෙනසක් නොකරන්ටය. මා අවසන් වතාවට මෙතැන යමක් සටහන් කොට ඇත්තේ වසර හතරකට ඉහත බැව් පෙනේ. ඇත්තටම ක්‍රමානුකූල ලිවීම නවතා ඇත්තේ වසර හයකට කලින්ය. එසේ වුව මම වෙනස් වී නැත්තෙමි. මා එතැනමය. මගේ දේශපාලනය එතැනමය. ස්වාභාවික පරිණාමීය ක්‍රියාවලියන්ට මුහුණ දීම හැරුණු විට මේ කිසිවක වෙනසක් සිදුව නැත. අළුතින් බ්ලොග් ලියන්ට ඇති කළ උත්තේජනය ගැන ගල්කන්දේ ධම්මානන්ද හිමි, ශාමික ලක්ෂාන්, සොඳුරු සිත ලියන වත්සලා, චින්තක සඳරුවන් ජයවික්‍රම හෙවත් සඳරු හා ප්‍රියන්ත හේවගේ හෙවත් මාතලන් (“මගෙ නම මාතලනුත් නෙවෙයි, ප්‍රියන්තත් නෙවෙයි හේවගේත් නෙවෙයි බං”) යන පස් දෙනාට ස්තූතියි.   ——————————————————————————————— ජනාධිපතිවරණය 2015 ජනවාරි 8 (පළමුවැනි කොටස) 2015 ජනවාරි අට වැනිදා, ජනාධිපතිවරණ දින රාත්‍රියේ, කොළඹ නගරය තුළ, සමහරවිට ලංකාව තුළම රාත්‍රි නවයට පමණ අතිශය සැහැල්ලුවෙන් නින්දට ගොස් පැය දහයකටත් වඩා දිගු නොබිඳුණු සුව නින්දකින් පසුව ඇහැරුණු එකම වාසනාවන්තයා මමය සිතමි. මේ වූ කලි මා හැරුණු විට සමස්ත දිවයිනම අධි රුධිර පීඩනයෙන් මුසපත්ව අවදිව සිටි යක්ෂයාගේ රාත්‍රියකි. මට විශේෂයෙන් අවදිව සිටින්ට අවශ්‍යතාවයක් නොවීය. මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව මම දැන සිටියෙමි. මෙය හුදෙක් අනුමානයක් නොව මට ලැබී තිබුණු මැතිවරණ සමීක්ෂණ සියල්ලේම ප්‍රතිඵලයයි. මම ඉලක්කම් විශ්වාස කරමි. විශ්වාස කළෙමි. කොටින්ම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණය පරදින බවට දිග විශ්ලේෂණාත්මක ලිපියක් – තනිකරම මගේ උවමණාවට – ඉන් පෙර සතියේ සිළුමිණට ලිවීමි. අනෙක් අතට මහින්ද රාජපක්ෂ දින්නාය කියා මට අළුතින් ඇති වන්ට හෝ නැතිවන්ට කියා දෙයක් නොවීය. මා ජනපතිවරණය සැහැල්ලුවෙන් සැලැකූයේ එනිසාය. මීට යම් පැහැදිළි කිරීමක් අවශ්‍යය සිතමි. 2015 ජනවාරිය වන විට මා සිටියේ රැකියාව අහිමිවය. 2014 අගෝස්තුවේදී මට අනපේක්ෂිත අවස්ථාවක රැකියාවෙන් සමුගන්ට කළමනාකාරිත්වය විසින් බල කෙරිණි. එතෙක් මා මිතුරෙකැයි සිතා සිටි ආයතන ප්‍රධානියා මේ ඉඟිය මට දුන්නේ ‘වහෙන් ඔරෝ’ භාෂාවෙනි. ඔහු තවදුරටත් අපහසුවට පත් නොකොට ඒ අවස්ථාවෙහිම මම තනි වාක්‍යයකින් යුතු අස්වීමේ ලිපිය ලියා දුන්නෙමි. අත් හැර යා යුතුය නියමයක් ලත් කළ ජීවිතයෙන් පවා සමු ගත යුතු අප ආයතනයකට බරක් වෙමින් රැකියාවක එල්ලී සිටිය යුතුය මම අදහස් නොකළෙමි. පුතයා සේ රස්සාවෙන් අස්වුණාට රස්සාවක් අහිමිව ජීවත්වීම කොයි තරම් අමාරු කාරණාවක්ද මා පසක් කළේ මේ දවස් වලය. එය අසීරු කාරණාවක් වන්නේ ඉපැයීම් එක්වරම බිංදුවට වැටෙන නිසාම නොවේ. ආන්තික ලෙස වියදම් කැපීමෙන් හා පොඩි පොඩි වැඩ පංගාර්තු කර ගැන්මෙන් මේ මුල්‍යමය වැටීම යම් පමණකට දරාගත හැකිය. අනෙක් පැත්ත ඊට දරුණුය. ලාංකීය සමාජය තවමත් අප 8-5 රැකියාවක් කළ යුතුය උපකල්පනය කරයි. එවැන්නක් නැති කළ එය තනි පුද්ගලයකුට නොව පවුලකටම සමාජමය ගැටළුවක් බවට පත් වේ. මේ ඒ යුගයේ ලියු සටහන් කිහිපයකි. නොවැම්බර් 25, 2014 රැකියාව නැති වීම ප්‍රශ්නයකි. මැතිවරණ සමයක රැකියාව නැති වීම ඊට වඩා බරපතළ ප්‍රශ්නයකි. මැතිවරණයක් ප්‍රකාශ කොට ඇති අවස්ථාවක රාජ්‍ය අංශය සියළු බඳවා ගැනීම් නතර කරයි. පුද්ගලික අංශය පවා තාවකාලික ලෙස පාෂාණිභූත වේ. මැතිවරණය අවසාන වන තුරු කළමනාකරණ තීරණයක් ගන්ට සියල්ලෝම අකමැත්තෝය. මා දැන් අසුව ඇත්තේ මේ දඬු අඬුවටයි. රැකියාවක් පිණිස අවම වශයෙන් තව මාස දෙකක් බලා සිටිය යුතුය.   ජිනසිරි දැඩැල්ලගේ මහතා කොන්ත්‍රාත් පදනමින් SLIDA එකට බැඳෙන්ට කැමැති නම්, සලකා බැලීම පිණිස CV එකක් ගෙනත් දෙන්ට යැයි දඩැල්ලගේ මහත්තයා කීවේ මා අස්වෙනවාය ඔහුට කියන්ට ගිය විටය. ඊට මගේද යම්කිසි කැමැත්තක් විය. කෙසේ වෙතත් CV එකක් ගෙන ගොස් දීම  දිනෙන් දින ප්‍රමාද කරමින් සිටියේ කාලයක් කල් දමින් සිටි පෞද්ගලික වැඩ කිහිපයක් අවසන් කර ගන්නා තුරුය. හදිසි ජනපතිවරණ තීරණය එන්නේ ඒ අතරය. මේ බලාපොරොත්තුව අත හැරිය යුතුය මට සිතේ. ජනාධිපතිවරණයෙන් පසුව දඩැල්ලගේ මහතා SLIDA අධ්‍යක්ෂක ජනරාල් පුටුවේ සිටින්ටත් පුළුවන; නොසිටින්ටත් පුළුවන. ඉන්පසුව මොන යකා ඕකෙ වාඩි වෙයිද කවුද දන්නෙ! සමහරවිට මා නැවත SLIDA එකට ජීවිතයටම අඩිය නොතබන්ටම පුළුවන. SLIDA එකට සේම ICTA එකටද මා යළි අඩිය නොතබනු ඇතැයි මට සිතේ. අවසාන වරට හමු වූ අවස්ථාවේදී (Waters Edge එකේදී) දිසා කීවේ ඔහු සේම වසන්තද ජනාධිපතිවරණයෙන් පසුව “කවුරු ආවත්” ඉවත් විය හැකි බවයි. චිත්‍රාංගනී ඉවත් වීමෙන් පසුව මගේ ICTA කන්ටැක්ට්ස් බොහෝ විට වසන්තට හා දිසාට සීමා විය. මේ තිදෙනාම නැති ICTA එකට මා යන්ට හේතුවක් විය හැකිද? අවශේෂ ලෝකයේ ජනාධිපතිවරණ උණුසුම ඉතාම සෙමෙන්, දශමයෙන් දශමය වාගේ වර්ධනය වෙමින් තිබේ… November 26, 2014 Now it is clear the Presidential Election will be a two horse race. All other candidates combined will get less than 1%. Maithri, the ‘common’ candidate’ (He is yet to become My3) shows little signs of improving his position. The political parties are divided more or less the same way they did in 2010. The only addition to opposition is JHU, which might bring 200,000 votes maximum. May be less. Can Maithri win? Assuming you are not Sumanadasa Abeygunawardena, above map, showing 2010 Presidential Election results (between Rajapaksa and Fonseka) would be the starting point of your analysis. Show this map to any international analyst and ask whether there could be a SWING five years later, large enough to reverse the results. She will ask only one question: Has there been any SERIOUS political or economic issue during the five years? You admit, there wasn’t. The war is over. Country has recovered fast. No recessions. The growth has been positive. (6-7% annually) May not be perfect, but the conditions are not definitely bad. The analysts will smile and ask: Then what SWING you talk about? Do you expect the blue electorates to miraculously turn red overnight? I still sleep 12 hours a day. And learn French…. නොවැම්බර් 27, 2015 මාස කිහිපයකට, කරන්ට රැකියාවක් නැති වීම නරක දෙයක්ම නෙවෙයි. හැමදාම කරන හැල්මේ දිවිල්ල නවතා පොඩියක් විඩා හරින්ට, අළුතින් යමක් හිතන්ට ඉඩ ලැබෙන්නේ එවිටය. ජවහර්ලාල් නේරු මේ ඉසඹුව හඳුන්නා දුන්නේ ‘බැටරි චාජ් කර ගත යුතු කාලය’ ලෙසටය. ඇත්ත. අවශ්‍ය එකම දේ එසේ ලබුණු කාලය නිවැරදිව කළමනාකරණය කරන්ට ඕනෑකමක් හා හැකියාවක් තිබීමය. නැතිනම් මේ කාලය නිකරුණේ පිච්චෙන්නේ මුදල් රාශියක්ද සමඟය. මට ලැබුණු ඉසඹුව මම ටක්කෙටම කළමනා කළේය නොසිතමි. හැබැයි කාලයක පටන් කරන්ට හිතාගෙන සිටි, ඒත් බැරිව තිබුණු වැඩ කටයුතු කිහිපයක් මේ කාලයම තුළ කර ගතිමි. එකක්, පොතක් ලිවීමය. මාස දෙකක ශ්‍රමයේ අවසානය වූයේ ‘South Korea and South Asia: What one can learn from the other’ ග්‍රන්ථයයි. තරුණ ලේඛකයකු වූ මයිකල් මෙන්ඩිස් සංස්කරණයට එකඟ වූ නිසා භාෂාව ගැන වැඩිදුර කරදර නොවී, මගේ අවධානය සම්පූර්ණයෙන්ම වාගේ අන්තර්ගතයට යොමු කොට මේ කාර්යය කර ගෙන යන්ට හැකිවිය. මයිකල්ගේ එකතු කළ අගය මම අගය කරමි. මේ කාර්යය මා තනිව කළා නම් එය මාස දෙකක් වැනි කාලයක් තුළ කිසිසේත් අවසන් කරන්ට නොහැකිවනු ඇත. පොත ලියා අහවර කළත්, විවිධ හේතූන් නිසා මගේ කොරියානු මිතුරන් හා මිතුරියන්ගෙන් බලාපොරොත්තු වූ සහාය ඒ අයුරින්ම නොලැබී ගියේය. පොතට අවශ්‍ය ඡායාරූප සියල්ල සැපයිය හැකි බවට කලින් පොරොන්දු වූ මගේ කොරියානු මිතුරියක් ඉන්පසුව විවිධ හේතු දක්වා එය මඟ හැරියාය. පොතේ සමාන්තර සිංහල පරිවර්තනයක් පළ කර දෙන්ට සුන්දර අයියා (සුන්දර නිහතමානි ද මෙල්)  පොරොන්දු විය. පරිවර්තනය මට කරන්ට බැරි වැඩ වලින් එකකි. මා කරන්නේ හැම විටම දෙවන භාෂාවෙන් යළි හිතා නැවත ලිවීමයි. මෙය කල් ගත වන වැඩකි. එනිසා මම පරිවර්තකයකු සෙවීමට උත්සුක වීමි. ආචාර්ය උදන් ප්‍රනාන්දු ඊට රෙකමදාරු කළේ අජිත් පැරකුම් ජයසිංහවය. අජිත්ගේ භාෂා හැකියාවන් පිළිබඳව මට ගැටළුවක් නුවූවද, සමහර තැන්වලදී ඔහුගේ දේශපාලන අදහස් වලට විරුද්ධ මෙවැනි ග්‍රන්ථයක් පරිවර්තනය ඔහු භාර ගනු ඇද්ද යන්න මට කුකුසක් විය. එනිසා මම අජිත්ට කතා නොකළෙමි. මේ පොත මුද්‍රණය කරා ගමන් නොකළේ, මේ සියල්ල විසඳා ගත්තද, මඟ හරිනු නොහැකි වූ එක් බාධකයක් නිසාය. මගේ පොතේ උලුප්පා දැක්වූ චරිතය වූයේ කොරියාවේ පළමු ජනාධිපති පාක් චුං-හීය. ජනාධිපති පාක් බොහෝ කොරියානුවන් පවා කතා කරන්ට අකමැති ජාතියේ විවාදාපන්න චරිතයකි. වත්මන් කොරියානු ජනපතිනි පාක් ගෙවුං-හී පවා සිය පියා ගැන කතා කරන්නේ කලාතුරෙකිනි. ඔහුගේ මිලිටරි ඒකාධිපතිත්වය එතරම් ප්‍රබල එකකි. හැබැයි මේ මිලිටරි ඒකාධිපතියා ආසියාවේ දුප්පත්ම රට වූ කොරියාව ලොව දොළොස්වැනි ධනවත් රාජ්‍යය කිරීමේ පළමු පියවර තැබුවේය. මගේ එක් තර්කයක් වූයේ එවැනි දැඩි නායකත්වයකින් තොරව කිසිම ආසියානු රටකට කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් ලබා ගත නොහෙන බවයි. 2014 නොවැම්බරයට පෙර මගේ කථාන්තරයේ යම් සාමජීය ආසක්ත භාවයක් විය. හැබැයි ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසුව, සෝභිත හිමියන්ගේ මැදිහත් වීම්, යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාවත, වඩා සුමුදු චරිතයක් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා සේ තරගයට එක්වීම යනාදී කාරණා මත මේ මොහොත මගේ පොත් එළි දක්වන්ට සුදුසුම එකදැයි මට සංශයක් වේ. එනිසා එය එළි දැක්වීම ජනාධිපතිවරණය පසුවනතුරු කල් දමන්ට මම තීරණය කළෙමි. (මතු සම්බන්ධයි….)    ....   වැඩිදුර >>  
Next || Previous