ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවක්ද? [ යාම් : 17 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-03-17 22:11:40
ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවක්ය යන අදහස ඇතැම් අය වරින්වර මතු කර තිබේ. එයින් ව්‍යංගයෙන් අදහස් වන්නේ නිශ්චිත විද්‍යාවන්ද ඇති බවයි. භෞතික විද්‍යාව වැනි විද්‍යාවක් නිශ්චිත විද්‍යාවක් ලෙස ඇතැම් අය සලකති. මේ ලිපියේ අරමුණ ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවක් නොවන බව තහවුරු කිරීම නොවේ. පළමුව, යම් විද්‍යාවක් නිශ්චිත හෝ අවිනිශ්චිත විද්‍යාවක් ලෙස බෙදිය හැකි පැහැදිලි ඉරක් නැති බව පෙන්වා දීමය. දෙවැන්න, මේ අදහස තහවුරු කිරීමට මේ විෂයයන් උගන්වන අධ්‍යාපන ක්‍රමවේදය දායක වන අයුරු පෙන්වා දීමටය.මා දන්නා තරමින් ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවක්ය යන අදහසට කිට්ටු ඉංග්‍රීසි භාවිතය dismal science යන්නයි. මේ වචනයෙන් අඳුරු, අපැහැදිලි, අවිනිශ්චිත, දුක්ඛදායක වැනි අදහසක් පළ වේ. ආර්ථික විද්‍යාව විස්තර කිරීමට මේ වචනය මුළින්ම භාවිතා කළේ තෝමස් කාර්ලයිල් විසිනි. එසේ විස්තර කිරීමට හේතු වූයේ දහනමවෙනි සියවසේ මුල් කාලයේදී ප්‍රචලිතව පැවති මැල්තුසියානු මතවාදයයි. මේ කාලයේ තෝමස් මැල්තුස් විසින් දුටුවේ සදාකාලිකවම කුසගින්නෙන්, ලෙඩරෝගවලින් හා දරිද්‍රතාවයෙන් පීඩා විඳිනු ඇතැයි සැලකුණු අනාගත මිනිස් ප්‍රජාවකි. තාක්ෂණයට මේ අනාගතය තීරණාත්මක ලෙස වෙනස් කළ හැකි බව පුරෝකථනය කිරීමට මැල්තුස්ට නොහැකි විය.ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවක්ය යන අදහස එක්තරා දුරකට සිදුවිය හැකි දේ නිවැරදිව පුරෝකථනය කිරීමට ආර්ථික විද්‍යාවට ඇති නොහැකියාව හා සම්බන්ධ වූවකි. කෙසේවුවද, මෙය සියළුම ව්‍යවහාරික විද්‍යාවන්ට පොදු ලක්ෂණයකි. ගණිතය වැනි සංකල්ප මත පදනම් වූ ශුද්ධ විද්‍යාවක ඇති නිශ්චිතතාවය ව්‍යවහාරික විද්‍යාවක නැත. ව්‍යවහාරික විද්‍යාවන් බොහොමයක පදනම සම්භාවිතාවයි.රසික විසින් පිළිගතහැකි මූලාශ්‍රයක් සමඟ පෙන්වා දී ඇති පරිදි, "බද්ධකරන ලද වකුගඩුවලින් වසර තුනකට පසු ක්‍රියාකාරීව පවතින්නේ 87% ක් පමණි. වසර දහකට පසු ක්‍රියාකාරීව තිබෙන්නේ 54% පමණි." වෙනත් බොහෝ වෛද්‍ය ප්‍රතිකාර වලින්ද අවශ්‍ය ප්‍රතිඵලය ලැබීම සියයට සියයක් තහවුරු කළ නොහැකිය. එහෙත් මෙවැනි බද්ධ කිරීමක් සාර්ථක වීමේ සම්භාවිතාව යම් තරමකින් වැඩි කිරීමට කළ හැකි දේ තිබේ. යම් ඉංජිනේරු ආකෘතියක් නිශ්චිත කාලයක් තුළ බිඳ නොවැටෙනු ඇතිබව සියයට සියයක් තහවුරු කළ නොහැක. එහෙත්, මේ සම්භාවිතාව අඩු කළ හැකිය.ආර්ථික විද්‍යා ආකෘතින්ද මෙයට වෙනස් නැත. නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුව ආර්ථිකයයන් මෙහෙයවෙන රටවල බොහෝ එදිනෙදා කටයුතු සඳහා සමාගම් හා පුද්ගලයින් විසින් සරල ආර්ථික විද්‍යා මූලධර්ම සාර්ථක ලෙස යොදාගැනේ. එමෙන්ම, රටක ආර්ථිකය මෙහෙයවීම වැනි සංකීර්ණ ව්‍යාපෘති වලදී  මෙවැනි සරල ආකෘති රැසක් එක් කර වඩා සංකීර්ණ ආකෘති ගොඩනඟා ප්‍රයෝජනයට ගැනේ. ආකෘතියක් සංකීර්ණ වූ තරමට එහි අවිනිශ්චිතතාව වැඩි වේ. එමෙන්ම, ආකෘතියේ ඇති වරදක් නොපෙනී යාමේ ඉඩකඩද වැඩි වේ. වසර විස්සකට පෙර සිදු වූ චැලෙන්ජර් ඛේදවාචකය උදාහරණයකි. මෙය ආර්ථික විද්‍යා ආකෘති වලටද අදාළය. කෙසේවුවද, මහා පරිමාණ ව්‍යාපෘතියක් අසාර්ථක වූ විට ඒ පිලිබඳ මතකය සෑහෙන කලකට බැහැර නොවේ. රටක ආර්ථිකයක් හැසිරවීම බොහෝ දෙනෙකුගේ දායකත්වයෙන් හා සහභාගිත්වයෙන් සිදුකෙරෙන මහා පරිමාණ ව්‍යාපෘතියකි.ලංකාවේ ආර්ථික විද්‍යාව ඉගැන්වෙන්නේ කලා විෂයයක් ලෙසිනි. භෞතික විද්‍යාව ඉගැන්වෙන්නේ ගණිතමය විෂයයක් වශයෙනි. මේ විෂයයන් බොහෝ විට මුලින්ම ඉගැන්වෙන්නේ උසස් පෙළ පන්ති වලදීය.භෞතික විද්‍යාව ඉගැන්වීමේදී වස්තුවක ස්කන්ධය, ඒ මත යෙදෙන ත්වරණය හා ඒ නිසා ඇතිවන බලය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරමින් නිවුටන්ගේ දෙවන නියමය F = ma නම් වූ සමීකරණයක් ලෙස උගන්වනු ලබයි. බොහෝ දෙනෙකුට මේ සමීකරණය ඉගෙන ගැනීමේ අරමුණ ඒ අනුසාරයෙන් විභාගයට ලැබෙන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලියා වැඩිම ලකුණු ගණනක් ගැනීමයි. ඒ සඳහා F = ma සමීකරණය කටපාඩම් කරගතයුතුය. එවිට, F, m හා a යන තුනෙන් දෙකක් දී ඇත්නම් ඉතිරි එක හරියටම හොයා ගත හැකිය. එය නිශ්චිත සංඛ්‍යාවකි.ආර්ථික විද්‍යාව ඉගැන්වෙන්නේ මෙයට වඩා වෙනස් ක්‍රමයකටය. උදාහරණයක් වශයෙන් "රටේ විනිමය අනුපාතය තීරණය වෙන්නෙ කරුණු 8ක් අනුව" බව කෙනෙකුට ඉගෙන ගන්නට ලැබිය හැකිය. එවැන්නෙකු "අහලා තියෙන ආර්ථික විද්‍යාවෙදි" "රටේ විනිමය අනුපාතය තීරණය වෙන" කරුණු 8 මේවාය.1) උද්ධමන අනුපාත (Inflation rates)2) පොලී අනුපාත (Interest rates)3) රටේ ජංගම ගිණුම/ගෙවුම් ශේෂය (Country-s Current Account/ Balance of Payment)4) රාජ්‍ය ණය (Government debt)5) ආනයන අපනයන අනුපාත (Terms of Trade)6) දේශපාලන ස්ථාවරත්වය සහ රටේ ක්‍රියාකාරිත්වය (Political Stability & Performance)7) Recession8) Speculationදැන් මේ ශිෂ්‍යයා මේ කරුණු අට ඉගෙනගන්නේද නිවුටන්ගේ නියම උගත් අවශ්‍යතාවය සඳහාය. ඒ, ඒ අනුසාරයෙන් විභාගයට ලැබෙන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලියා වැඩිම ලකුණු ගණනක් ගැනීමටය. ඒ සඳහා සටහන් පොතේ ලියාගෙන ඇති උඩ තිබෙන කරුණු අටම නිවැරදි පිළිවෙළට කටපාඩම් කරගත යුතුය. වෙනත් වැඩි වැඩක් කළ යුතු නැත. මෙහි නිවුටන් නියමයේ වැනි නිශ්චිත සමීකරණයක් නොමැති නිසා මේ එක් එක් කරුණ විණිමය අනුපාතිකයට බලපාන ආකාරය ගැන ශිෂ්‍යයාට පැහැදිලි අදහසක් නැත. මෙය ආර්ථික විද්‍යාවේ ප්‍රශ්නයක් බව ඔහු සිතයි.යම් හෙයකින් යමෙකුට භෞතික විද්‍යාව මෙන්ම ආර්ථික විද්‍යාවද හැදෑරීමේ වාසනාව ලැබුණොත් ඔහුට මේ විෂයයන් දෙකේ පැහැදිලි වෙනසක් පෙනේ. භෞතික විද්‍යාව නිශ්චිත විද්‍යාවකි. උගන්වා ඇති සමීකරණය භාවිතා කිරීමෙන් අසා ඇති ප්‍රශ්නයට නිශ්චිත සංඛ්‍යාත්මක පිළිතුරක් දිය හැකිය. ආර්ථික විද්‍යාවේ එවැන්නක් කළ නොහැකිය. කරුණු අටක්ම ඇති නිසා වැඩේ සංකීර්ණය. පිළිතුර දන්නා කෙනෙක් නැත. ආර්ථික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවකි."වසර 25කට පෙරත් රුපියල් 40කට පමණ හුවමාරු වූ ඇමරිකන් ඩොලරය මේ වන විට රුපියල් 135කට පමණ ආසන්නව හුවමාරු වන්නේ අපේ උද්ධමනය මේ වසර 25 තුළ ඇමරිකාවේ උද්ධමනයට වඩා ඉහළින් පැවතීම නිසාය" "නිශ්චිත විද්‍යාවක් නොවන ආර්ථික විද්‍යාවෙදි , ඔහොම සරල විධියට දෙයක් කියන්න පුළුවන්ද? දැන් මෙහෙම කියමු, භෞතික විද්‍යාවෙ තියෙන බලය(F), ත්වරණය (a) සහ ස්කන්ධය (m) අතර සමීකරණය F=ma; ස්කන්ධය කියන සාධකය නියතයක් වෙද්දි ත්වරණය 3.375 ගුණයක් කරන්න නම්, බලය 3.375 ගුණයකින් වැඩි කරන්න වෙනවා. නමුත් ඔය කියන විනිමය අනුපාතය රුපියල් 40 ඉඳන් 135 ට වැඩි වුණේ අනිත් සියලු සාධක නියත වනවිට ඇමරිකාවට වඩා ලංකාවෙ උද්ධමනය 3.375කින් වැඩි වුණ නිසාද ? උත්තරය නෑ. මේ විධියෙ සරලව ආර්ථික විද්‍යාවෙ දේවල් නිගමනය කරන්න බෑ." ඔහු සිතයි.භෞතික විද්‍යාවට උගත් නිවුටන් නියමයත් යම් උපකල්පිත තත්ත්වයන් යටතේදී භාවිතා කළ හැකි තවත් එක් සරල න්‍යායක් පමණක් බව තේරුම් ගැනීමටනම් ඔහු මේ න්‍යායයේ ප්‍රායෝගික භාවිතාවක් වෙත යොමු විය යුතුය. පාරේ නැවතී ඇති මෝටර් රථයට 3.375ක ත්වරණයක් දෙන්නට, එහි ස්කන්ධය නියත වූ පමණින්, 3.375ක බලයක් ප්‍රමාණවත් නැත. මෝටර් රථයට තල්ලුව යෙදිය යුත්තේ සමතලා මතුපිටක, සුමට පෘෂ්ඨයක් මත හෝ රික්තකයක් ඇතුළේ නොවේ. ඒවා තියෙන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේ පමණි. ඝර්ෂණය හා වායු ප්‍රතිරෝධය ආදී වෙනත් සාධක නිසා මේ ශිෂ්‍යයාට 3.375ක ත්වරණයක් දෙනු තබා මෝටර් රථය අඟලකින්වත් හොලවන්නට නොහැකිය. මහපාරේ අවිනිශ්චිතතාව තිබේ. එය නැත්තේ විභාග ප්‍රශ්න පත්‍රයේ පමණි.සමාන්තර විශ්වයක මේ විෂයයන් වෙනත් අයුරකින් උගන්වනු ලැබීම සිදුවිය හැක්කකි. මෙහි නිවුටන් නියමය පෙර ලෙස ඉගැන්වෙන්නේ නැත. එය උගන්වන්නේ පෙර උදාහරණයේ ආර්ථික විද්‍යාව ඉගැන්වූ අයුරිනි."යම් වස්තුවක ත්වරණයට බලපාන කරුණු 8ක් ඇත. ඒවා මේවාය.1) ඒ මත යොදන බලය 2) බලය යොදන දිශාව 3) වස්තුව පිහිටි පෘෂ්ඨයේ ආනතිය 4) වස්තුව පිහිටි පෘෂ්ඨයේ ස්වභාවය 5) සුළං හමන දිශාව 6) සුළඟේ වේගය 7) වස්තුවේ හැඩය 8) ත්වරණය මනින උපකරණවල නිරවද්‍යතාවය"මේ එක් එක් සාධකය යම් වස්තුවක ත්වරණයට බලපාන ආකාරය තේරුම් ගැනීම දැන් පෙර තරම් පහසු නැත. ඒ නිසා මේ සමාන්තර විශ්වයේ ඉගෙනගන්නා ශිෂ්‍යයාට භෞතික විද්‍යාව අවිනිශ්චිත විද්‍යාවකි.කෙසේවුවද, එහි ආර්ථික විද්‍යාව උගන්වන්නේ ගණිතමය ආකෘති ඇසුරෙනි. දැන් ඔහුට රටවල් දෙකක සමාන භාණ්ඩ දෙකක මිල සහ විණිමය අනුපාතිකය අතර සම්බන්ධතාවය පැහැදිලි කරමින් -ක්‍රය ශක්ති සාම්‍යය- නම් වූ න්‍යායයක් ගැන ඉගෙන ගන්නට ලැබේ. මේ අනුව, විණිමය අනුපාතිකය (e), e = p1/p2 නම් වූ සමීකරණයකින් ඉදිරිපත් කෙරේ. තුනෙන් දෙකක් දැනගත් විට අනිත් එක හරියටම හොයාගත හැකිය. ඒ නිසා ආර්ථික විද්‍යාව නිශ්චිත විද්‍යාවකි.අර පෙර උදාහරණයේදී මෙන්ම මෙහිදීද නිශ්චිත පිළිතුරක් ලැබෙන්නේ විභාගයට අසා ඇති ප්‍රශ්නයටය. ප්‍රායෝගික භාවිතයේදී නිවුටන්ගේ නියමය වගේම ක්‍රය ශක්ති සාම්‍යයත් හරියටම වැඩකරන, -රික්තකයක පිහිටි සමතලා සුමට පෘෂ්ඨ- සොයා ගැනීම පහසු නැත.උදාහරණයක් වශයෙන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව පසුගිය දෙසැම්බර් අවසානයේදී ලංකාවේ අළුත් කුකුළුමස් කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 506.47 කි. ඇමරිකාවේ මේ මිල ඇමරිකන් ඩොලර් 3.17කි. ඒ අනුව, ක්‍රය ශක්ති සාම්‍යය තහවුරු කරන විණිමය අනුපාතිකය 159.80 කි. මෙය සැබෑ විණිමය අනුපාතිකයට වඩා තරමක් වැඩිය. එසේනම්, ඇමරිකාවෙන් ලංකාවට කුකුළුමස් ආනයනය කිරීමෙන් යමෙකුට ලාභයක් ලැබීමට හැකි විය යුතුය. එහෙත්, ප්‍රවාහන වියදම් නිසා ප්‍රායෝගිකව මෙය සිදුවිය නොහැක. ක්‍රය ශක්ති සාම්‍යය ඇතිවීමටනම් ප්‍රවාහන වියදම් නැති විය යුතුය. සැබෑ ලෝකයේදී වියදම් රහිතව කුකුළුමස් ප්‍රවාහනය කිරීම ඝර්ෂණය නොමැති පෘෂ්ඨයක් සොයනවාක් මෙන් අසීරු කාර්යයකි. භෞතික විද්‍යාව ප්‍රායෝගිකව භාවිතයට ගන්නා ඉංජිනේරුවෙකුට මෙන්ම ව්‍යවහාරික ආර්ථික විද්‍යාඥයෙකුටද සරල න්‍යායයන් රැසක් සම්බන්ධ කරමින් සංකීර්ණ කාර්යයක් නිවැරදිව කිරීමට බැරිකමක් නැත. එහෙත්, සරසවි පිවිසුම එකම අරමුණ කරගෙන උසස්පෙළ තරඟයට මුහුණ දීමට සුදානම් වන සිසුවෙකුට තමන් ඉගෙනගන්නා දේ ගැන ගැඹුරින් සිතීමට වෙලාවක් නැත. මෙවැනි තරඟයකින් ජයගෙන සරසවියට ඇතුළු වුවද තමන් පුරුදු වී සිටින රටාවෙන් ගැලවෙන්නට බොහෝ දෙනෙකුට අසීරුය. එහෙත්, සරසවි වල දැනුම පිණිස ඉගෙනගන්නා අය නැතුවා නොවේ. එසේ න්‍යායාත්මක දැනුම ලබාගත්තද, බොහෝ දෙනෙකුට සරසවියේදී තමන් ඉගෙන ගන්නා න්‍යායයන් සැබෑ ලෝකය සමඟ ගලපා ගැනීම හුරුවන්නේ වෘත්තීය භාවිතාව තුළදීය. ඒ අවස්ථාව නොලැබුණු, ආර්ථික විද්‍යාව සංකල්පමය ලෙස පමණක් උගත් අයෙකුට එය හැමදාමත් අවිනිශ්චිත විද්‍යාවකි.(Image: http://www.oxfordscholarship.com/view/10.1093/0198294905.001.0001/acprof-9780198294900) ....   වැඩිදුර >>  
Next || Previous