ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කපුටාගේ කැත කපුටාගේ ප්‍රශ්නයක් නොවේ! [ යාම් : 16 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-03-15 19:18:40
කපුටා කළුය. කැතය. මොණරා ලස්සනය. පාට මහ ගොඩකි."එයාට තියෙන පාට ගනින්න මගේ මේ ඇ‍ඟේ තියෙන පිහාටු මදි. ඒ තරමට එයාගේ පිහාටුවෙන් පිහාටුවට එක එක පාට!” මොණරා ගැන කපුටා මෙසේ හිතනවායැයි අපි සමහර වෙලාවට හිතමු. කපුටා හිතන විදිහ ගැන අපට හිතා ගන්නට නොහැකිය. ඒ නිසා අපට කළ හැකි හොඳම උපකල්පනය වන්නේ කපුටාත් අපි හිතන විදිහටම හිතන බව හිතීමයි. කළු පාට කැත බව අපට කියන්නේ අපේ මොළය බව අපි බොහෝ දෙනෙකු දනිමු. ඇතැම් වෙලාවට කළු දැකුම්කළු වන බවත් අපි දනිමු. ඒ වගේම, කතාවල කෙසේ වුවත්, කපුටන් අපි මෙන්ම හිතන බව අපි බොහෝ දෙනෙකු ඇත්තටම නොහිතන්නෙමු.මොණරාගේ ලස්සන ගැන කපුටා හිතන්නේ කෙසේවුවද, 1970 පමණ දක්වා ස්වභාව විද්‍යාඥයින් පවා සිතුවේ කපුටාට මොණරාව පෙනෙන්නේ අපට පෙනෙන ලෙසටම කියාය.මොණරාගේ පිල් කළඹේ නැති පාටක් හෙවීම අමාරු වෙද්දී කපුටා කළුම කළු වුනේ ඇයි?මොණරාගේ පිල් කළඹේ වැදී පරාවර්තනය වන විද්‍යුත් චුම්භක තරංග වලින් නැනෝමීටර 400 සිට 700 දක්වා තරංග ආයාමයක් ඇති විද්‍යුත් චුම්භක තරංග අපේ ඇස් වල කාච මඟින් පෙරා දෘෂ්ඨි විතානය මත ප්‍රක්ෂේපණය කරයි. මේ පරාසයෙන් පිටත ඇති අධෝරක්ත හා පාරජම්බුල පරාස වල විද්‍යුත් චුම්භක තරංග වලට එසේ අපේ ඇස් වල කාච විනිවිදින්නට නොහැකිය. අපේ ඇස් වල ඇති කේතු සෛල වර්ග තුන මේ පරාසයේ වෙනස් තරංග ආයාමයන්ට වෙනස් ලෙසින් සංවේදී වේ. මේ වෙනස්කම් හඳුනාගන්නා අපේ මොළය විසින් කේතු සෛල මඟින් ලබා දෙන වෙනස් සංඥා වෙනස් වර්ණ ලෙස හඳුනා ගනී. ඒ නිසා මොණරාගේ පිල් කළඹ අපට වර්ණවත්ව පෙනේ. මේ අයුරින්ම කපුටාගේ පියාපත් වල වැදී පරාවර්තනය වන විද්‍යුත් චුම්භක තරංගද අපේ ඇස වෙත පැමිණේ. එහෙත්, මෙසේ පැමිණෙන විද්‍යුත් චුම්භක තරංග වල තරංග ආයාමයන් නැනෝමීටර 400 සිට 700 දක්වා පරාසයෙන් පිටතනම් ඒවාට අපේ ඇසේ කාච විනිවිදිය නොහැකිය. එසේ විනිවිද පැමිණියද, අපේ ඇස් වල කේතු සෛල උත්තේජනය කිරීමට තරම් තීව්රතාවයක් නැත්නම් මොළයට සංඥාවක් නොලැබේ. අපේ ඇස් වල කේතු සෛල හෝ යෂ්ඨි සෛල කිසිවක් උත්තේජනය කිරීමට කපුටාට නොහැකි නිසා අපිට කපුටාව කළු කැත සතෙක් ලෙස පෙනේ.කපුටාට අපේ කේතු සෛල හෝ යෂ්ඨි සෛල කිසිවක් උත්තේජනය කිරීමට කිසිම උවමනාවක් නැත. කපුටාට අවශ්‍ය වන්නේ කපුටීගේ කේතු සෛල හා  යෂ්ඨි සෛල උත්තේජනය කිරීමටය. කපුටාට වැඩක් කර ගත හැකි වන්නේ එවිටය. එහෙමනම් කපුටා කපුටීව ආකර්ෂණය කරගන්නේ කොහොමද?මෙහි ඇති ගැටළුව වන්නේ කපුටීට කපුටාව පෙනෙන්නේ අපට පෙනෙන ආකාරයේම කළු, කැත සතෙක් ලෙසද යන්නයි.හෝමෝ සේපියන්ස්ලාගේ ඇස් වල තියෙන්නේ කේතු සෛල වර්ග තුනක් පමණක් වුවත් බොහෝ පක්ෂීන්ගේ ඇස් වල කේතු සෛල වර්ග හතරක් තිබේ. එමෙන්ම, හෝමෝ සේපියන්ස්ලාගේ අක්ෂි කාච විනිවිද නොයන පාරජම්බුල කිරණ වලට කුරුල්ලන්ගේ අක්ෂි කාච විනිවිද ගොස් උන්ගේ ඇස් වල ඇති පාරජම්බුල කිරණ වල තරංග ආයාමයට සංවේදී වන, අපට නැති  සිවුවන වර්ගයේ කේතු සෛල සංවේදී කරන්නට පුළුවන. මේ නිසා, එක් අතෙකින් අපට නොපෙනෙන තරංග ආයාම කුරුල්ලන්ට පෙනේ. අනෙක් අතින් අපට නොපෙනෙන වෙනස් වර්ණ ප්‍රභේද මිලියන ගණනක් කුරුල්ලන්ට පෙනේ.චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකු දකින ලෝකය ත්රිකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට කිසිදා තේරුම් ගත නොහැකිය. ඒකකේතුක, එනම් කළුසුදු, දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ දෘෂ්ඨිය යනු කුමක්දැයි තේරුම් ගත නොහැක්කාක් මෙනි.එක් කේතු සෛලයක සංවේදිතා මට්ටම් සියයක් ඇතැයි සැලකුවහොත් ඒකකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වෙන් වශයෙන් හඳුනාගත හැක්කේ වර්ණ සියයක් පමණි. එහෙත්, ද්විකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ දසදහසක්ද, ත්‍රිකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ මිලියනයක්ද වෙන් වශයෙන් හඳුනාගැනීමට පුළුවන. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ මිලියන දහයක් වෙන් වශයෙන් හඳුනාගැනීමට පුළුවන. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකු දකින ලෝකය ත්‍රිකේතුක දෘෂ්ඨියක් ඇති අප බොහෝ දෙනෙකුට සිතාගන්නටවත් නොහැකි වර්ණවත් ලෝකයකි.අපට පාරජම්බුල කිරණ දැකිය නොහැකි වුවත් විවිධ වස්තු වලින් පරාවර්තනය කරන පාරජම්බුල කිරණ වල තරංග ආයාම මැනීමේ හැකියාව තිබේ. කුරුල්ලන් සම්බන්ධව සිදුකර ඇති මේ ආකාරයේ පරීක්ෂණ තුළින් අපට කුරුල්ලන් දකින වර්ණවත් ලෝකය ගැන අදහසක් ලබාගත හැකිය.  අප කළු පැහැයෙන් දකින බොහෝ කුරුල්ලන්ගේ පිහාටු වලින් අපට සංවේදී නොවන පාරජම්බුල කිරණ පරාවර්තනය කරයි. සිරුරේ තැන්තැන්වල ඇති පිහාටු වලින් මෙසේ පරාවර්තනය කරන්නේ සමාන තරංග ආයාම ඇති විද්‍යුත් චුම්භක තරංගම නොවේ. එමෙන්ම, ගැහැණු හා පිරිමි කුරුල්ලන්ගේ මේ රටාවන් සමානද නැත. මේ අනුව පැහැදිලි වන්නේ, අපට කළු කැත සේ පෙනෙන බොහෝ කුරුල්ලන් එසේ පෙනෙන්නේ අපේ ඉන්ද්‍රියයන්ගේ ඇති සීමාවන් නිසා බවයි. කුරුල්ලන්ගේ අපට නොපෙනෙන සැබෑ වර්ණ ඔවුන්ගේ ගැහැණු සත්තුන්ට පෙනේ.මේ අයුරින්ම, අප සිතන්නේ ඇතැම් කුරුල්ලන් අනුන්ගේ කූඩු වල දමන බිත්තර ඔවුන්ට තමන්ගේ බිත්තර වලින් වෙන් කර හඳුනාගත නොහැකි බවයි. එහෙත්, බොහෝ විට අපට එක පාටින් පෙනෙන මේ බිත්තර ඔවුන්ට ඉතා පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිය.ඇතැම් විට අහසේ ඉතා ඉහළ පියාඹන මාංශභක්ෂක කුරුල්ලෙකු ක්ෂණිකව පහත් වී තණබිමක සිටින මීයෙකු ඩැහැගනී. එහෙත්, අපට එහි මීයෙකු සිටි බව නොපෙනේ. ඇත්තටම මේ කටයුත්ත කුරුල්ලාට ඉතා පහසු වැඩකි. අර මීයා තමන් යන මාර්ගය මුත්‍රා වලින් සලකුණු කරමින් යයි. මේ සලකුණු වලින් පරාවර්තනය කරන පාරජම්බුල කිරණ, අපට නොපෙනුණත්, ගොළුබෙල්ලෙකු ගිය පාර සටහන් වන අයුරින් පැහැදිලිව තණබිමේ සලකුණු වේ. මේ සලකුණ ඉතා ඉහළ අහසේ සිට වුවද පැහැදිලිව පෙනෙන නිසා ක්ෂණිකව පහත් වී මීයාව අල්ලාගැනීම පහසුවෙන් කළ හැකි දෙයකි.කුරුල්ලන් නරඹන්නට යන අය සාමාන්‍යයෙන් පරිසරයේ පාටට කිට්ටු, කැමෆ්ලාජ් ඇඳුමක් ඇඳගෙන යාම පුරුද්දකි. එහෙත්, ඔවුන් නොදන්නා කරුණක් වන්නේ රෙදි වල ඇති සායම් වලින් මෙන්ම රෙදි සේදීමට යොදන ද්‍රව්‍ය වලින්ද අපට නොපෙනෙන පාරජම්බුල කිරණ පරාවර්තනය කර යවන බවයි. මේ නිසා අප කොතරම් හොඳින් කැමෆ්ලාජ් වී හිටියත් කුරුල්ලන්ට ඉතා පැහැදිලිව, වෙනස්ම පාට දෙකක් ලෙස ඈත තියාම පහසුවෙන් හඳුනාගත හැකිය. හෝමෝ සේපියන්ස්ලා බොහෝ දෙනෙකුට ඇත්තේ ත්රිකේතුක දෘෂ්ඨියක් වුවත්, පිරිමින්ගෙන් 8%කට පමණත් ගැහැණුන්ගෙන් 0.5%කට පමණත් ඇත්තේ ද්විකේතුක දෘෂ්ඨියකි. එමෙන්ම, කාන්තාවන් අතර චතුර්කේතුක දෘෂ්ඨිය ඇති අය සුළු ප්‍රතිශතයක්ද සිටිති. ඔවුන් දකින ලෝකය අනෙත් අය දකින ලෝකයට වඩා අතිශයින්ම වර්ණවත් ලෝකයකි. කෙසේවුවද, මෙවැනි කාන්තාවන් බොහෝ දෙනෙකු තමන්ට චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති බව නොදනිති. එයට හේතුව, අප ජීවත් වන්නේ ත්රිකේතුක දෘෂ්ඨියක් ඇති අය වෙනුවෙන් සැලසුම් කළ ලෝකයක වීමයි.මෙය කියවන ඔබ කාන්තාවක්නම්, ඔබට පෙනෙන වෙනස් වර්ණ වෙනත් අයට වෙන් වශයෙන් හඳුනාගත නොහැකි බව කෙදිනක හෝ ඔබට සිතී ඇත්ද? (Images: www.birdbgone.co, archives.evergreen.edu, atrl.net ) ....   වැඩිදුර >>  
Next || Previous